ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.
වෙළෙඳ පොළට සැපයීමට අපේක්ෂිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු ගලේවෙල ළමා උද්‍යානය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ගැනීමට අගය එකතු කිරීමේ ක්‍රමවේදයකට යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා ගොවීන් සමග සාකච්ඡා කළේය.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සංවිධාන කළ ජන හමුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද එක්වූහ.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සති වෙළෙඳපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් දක්වන කැපකිරීම ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
දඹුල්ල නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරන රංගිරි ජීව හරිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. එමගින් මාතලේ සහ දඹුල්ල ප්‍රදේශවලට කාබනික පොහොර ටොන් 03 බැගින් දිනපතා සැපයේ. ප්‍රදේශයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය සංවර්ධනයට සහය වුවහොත් මධ්‍යම පළාතට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කළ හැකි බව නාගරික මන්ත්‍රීවරු සඳහන් කළහ.
නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර ඇති පරස්පර අදහස් හේතුවෙන් සීගිරිය ආශ්රිත ඉඩම් ආරවුල් දීර්ඝ කාලයක සිට විසඳී නැති බව ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ. ඉන් සංචාරක ව්‍යාපාරයට වන අහිතකර බලපෑම ඔවුහු පෙන්වා දුන්හ.
ඉදිකෙරෙමින් පවතින ශිතාගාරයේ වැඩ කඩිනමින් නිම කර දෙන ලෙස ද ගොවීහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් දඹුලු උරුමය සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එකතුව රුපියල් ලක්ෂ 90ක වියදමින් කොවිඩ් මර්ධනයට රෝහල් වාට්ටුවක් ඉදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.
