මාතර ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් භාවිතයට ගත් මොටර් රථයක් සහ ඔවුන් රැඳී සිටි නිවස අද (02දා) සොයාගත් බවත් අදාළ මොටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව මොරගහහේන තලගල භාවනා මධ්‍යස්ථානය පාර පිහිටි නිවසක මාස 04ක පමණ කාලයක සිට කොස්ගොඩ තාරක, මියගිය චාමර සහ කොස්ගොඩ දිල්ෂාන් නමැති සැකකරුවන් නතර වී ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය එම නිවසේ හිමිකරුගේ බිරිඳගේ මොටර් රථය වන බවත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද CAE 4706 දරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයෙන් සැකකරුවන් මාතර කොල්ලයට පැමිණ ඇති අතර වෙඩි වැදුණු අපරාධකරුවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේද මෙම මෝටර් රථයෙන් බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද නිවෙස් හිමිකරු කරුවලපිටිය මීගොඩ පදිංචි මඩපාතගේ කපිල කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ සැකකරුවන් එම නිවසේ කුලී පදනම මත සිට ඇති අතර ඔවුන් භාවිතයට ගන්නා ලද ඡායාරූප කිහිපයක් සහ ඇඳුම් කිහිපයක් සොයාගෙන තිබේ.
කළුතර පොලීසියේ විමර්ශන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
