වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලසීමාවේ චීන ජනපති ෂී ජින්පින් මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී සිදු වූ සිදුවීමක් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් හෙළිකළේය. මෙය හම්බන්තොට වරාය පිළිබඳව සිදුවීමකි. අමාත්‍යවරයා එය පැහැදිලි කළේ පහත පරිදිය.
"එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි හම්බන්තොට ජාත්‍යන්තර තත්ත්වයේ වරායක් ඉදිකිරීම. මේ ක්ෂේත්රයේ අපේ රටේ ප්‍රාමාණික විද්වතුන් බොහෝ කලක සිට පැහැදිලි කළා, 'හම්බන්තොට පසුකරගෙන ඉතා විශාල නැව් ප්‍රමාණයක් දිනපතා ගමන් කරනවා. ඒ නැව්වලට අවශ්‍ය සේවා සපයන ඒ ආශ්රිත කර්මාන්ත පදනම් කරගත් මේ ඓතිහාසික මාගම්පුර රාජධානියේ තමයි ඒ සඳහා අවශ්‍ය පිහිටීම තිබෙන්නේ' කියා. ඒ අදහසට ඇහුම්කන් දෙන පාලකයන් බොහෝ කලක් යනතෙක් බිහිවුණේ නැහැ.
හම්බන්තොට වරායක් ඉදි කළාම ඒක තරගකාරීව, අහිතකර ලෙස වෙනත් රටවලට බලපානවා. එසේ අහිතකර ලෙස බලපාන රටවල් කැමති වුණේ නැහැ හම්බන්තොට ජාත්‍යන්තර වරායක් ඉදි වෙනවාට. ඒ නිසා මේ අදහස බොහෝ හේතු මත යටපත් වුණා.
මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා චීනයට ගියපු වෙලාවේ, එතුමාම පැවසූ අන්දමට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි පී. බී. ජයසුන්දර මහත්මයාට එතුමා යෝජනා කර තිබුණා චීනයේ ජනාධිපතිතුමන් සමග කෙරෙන සාකච්ඡාවේ 'ටෝකින් පොයින්ට් එකක්' විදිහට 'හම්බන්තොට වරාය ඉදිකිරීම' ඇතුළත් කරන්න, කියා.
නමුත් අතිගරු ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන් සමග සාකච්ඡා අරඹන විට තමයි දැනගත්තේ ටෝකින් පොයින්ට් එකක් විදිහට මෙහෙ නිලධාරීන් හම්බන්තොට වරාය ඉදිකිරීම ඇතුළත් කර තිබුණේ නැහැ,කියා. මොකක් හෝ අද්භූත හේතුවක් නිසා හම්බන්තොට වරාය ඉදිකිරීම ඒ න්‍යාය පත්‍රයෙන් හැලිලා තිබුණා.
එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන්ගෙන් බලවත් ඉල්ලීමක් කර තිබුණා 'මේක මගේ ප්‍රදේශය, මේක මම ජනතාවට දුන් පොරොන්දුවක්. මේක මට කරන්නම උවමනායි. ඒ නිසා හම්බන්තොට වරාය ඉදි කිරීමේ යෝජනාවත් සාකච්ඡා සඳහා ඇතුළත් කරන්න' කියා. කවර හෝ හේතුවක් නිසා අපේ රටේ නිලධාරීන් ඒ යෝජනාව හැලුවත් චීන ජනාධිපතිතුමන් එවලේම මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සලසාදීමට තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මම පසුකාලීනව කල්පනා කළා 'ටෝකින් පොයින්ට්වලින් කොහොමද මේක හැලුනේ?' කියා. කොහොම වුණත් මේ ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය නායකයෙකු බිහි නොවුණා නම් මේ හම්බන්තොට වරාය ඉදිවීමට තිබෙන ඉඩ ඉතාම අඩුයි. පසුකාලීනව රජය සතුව තිබූ මෙම වරාය, පසුගිය ආණ්ඩුව විසින් HIPG සමාගමට 99 අවුරුද්දකට බදු දුන්නා. අපි දන්නවා මේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වාරිකය, පොලිය ආදී සියල්ල අදටත් ගෙවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනුයි.
ඒකෙන් පෙනෙනවා, හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් නොවෙයි, කියා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක්. හම්බන්තොට වරාය සඳහා ගත් ණය ගෙවීමට හැකියාව තිබියදී තමයි කුමන හේතුවක් නිසා හෝ පැවති පාලනය ඉහත තීරණය ගෙන තිබුණේ."

