මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් කොල්ලකා පළාගිය , පුද්ගලයින් දෙදෙනෙකු දින විසි අටකට පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර -දකුණ අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , මත්තෙගොඩ "කට්ටා " සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයින් දෙදෙනා ඉකුත් ඔක්තෝම්බර් මස 29 දා අලුයම 02:45 ට පමණ , ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් යතුරු පැදියකින් පැමිණ , මෙම කොල්ලය සිදු කර තිබුණි .
එහිදී සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කන මුවාවෙන් අවස්ථා තුනකදී මෙම ස්ථානයට පැමිණ තිබූ අතර , අවසන් අවස්ථාවේදී , ඉන්ධන ලබා ගෙන ඒ සඳහා රුපියල් 5000 ක මුදලක් පොම්ප කරුට ලබාදී තිබේ.
පසුව එහි ඉතිරි මුදල් ලබාදීම සඳහා පොම්පකරු ,තම මුදල් බහා තිබූ ලාච්චුව විවර කළ අවස්ථාවේදී , යතුරුපැදියෙන් පැමිණි පසු පැදිකරු , පොම්පකරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බිය ගන්වා ඇති අතර එම අවස්ථාවේදී පැදිකරු ලාච්චුවේ තිබූ රුපියල් 45,000 ක මුදලක් මෙසේ කොල්ලකා තිබුණි .
එම අවස්ථාවේ දී ඒ බව දුටු යාබද පොම්පකරු , පොල්ලක් රැගෙන එම ස්ථානයට පැමිණෙනවාත් සමගම , පසු පැදිකරු පලා යද්දී , යතුරු පැදිය පණගැන්වීමට නොහැකි වූ පැදිකරු ද , යතුරුපැදිය එම ස්ථානය අතහැර දමා , කොල්ල කන ලද රුපියල් 45000 ක මුදල් ද රැගෙන පළාගොස් තිබූ බව පොලිසිය කියයි.
පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී , සැකකරුවන්ගේ බවට සැක කරන මුදල් පසුම්බියක් , හමුවූ අතර , එහි තිබූ හැඳුනුම්පතක් ඔස්සේ විමර්ශන සිදු කොට , සැකකරුවන් දෙදෙනා , කටුනායක රද්දොළුගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ,මෙසේ අත්අඩංගුවට ගත් බව පැවසේ .
කොල්ලකෑමට පැමිණි යතුරුපැදිය එම ස්ථානයේදීම තිබී පොලිස් භාරයට ගෙන තිබු අතර එම යතුරු පැදිය ,බොරලස්ගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබියදී , සැකකරුවන් දෙදෙනා එදින උදෑසන සොරා ගෙන ආ එකක් බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කොල්ලකෑමෙන් පසුව සැඟව සිට ඉකුත් 17 දා නැවත මත්තේගොඩ ප්‍රදේශයට පැමිණ , සල්ගස් මාවත ප්‍රදේශය හරහා මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි පවුම් දෙකක් වටිනා රන් මාලයක්ද කොල්ල කා පලා ගොස් තිබුණි .
ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර තුනකට පෙර කහතුඩුව පොලිස් වසමේ මහ මඟ නමග නවතා තිබු යතුරු පැදි සොරාගෙන , එහි කෑලි ගලවා , පල්දෝරු පද්ධතියක සගවා , කොටස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වුවකු බවත් කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් පොලිසිය කියයි.
අධික ලෙස හෙරොයින් සහ අයිස් පානයට ඇබ්බැහිවූ ,සැකකරුවන් දෙදෙනා , සොරකම් සහ හෙරොයින් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව ආ දෙදෙනකු බවද පැවසේ.
අත්අඩංගුවට ගත් (22 - 28) වයසේ පසුවන සැකකරුවන් දෙදෙනා (28) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න .