වත්කම් බැරකම් ප්රකාශ මෙතෙක් භාර දී නොමැති පාර්ලිමේන්තුවට තේරීපත් වූ හා තෝරා යවා සිටින මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්රකාශ කිරීමට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රී ධුර අපේක්ෂකයෙකු ලෙස තරග කළ දිස්ත්රික්කයේ තේරීම් භාර නිලධාරීන් හරහා හෝ ඍජුවම මැතිවරණ කොමිසම වෙත වත්කම් බැරකම් ප්රකාශ භාරදිය හැකි බවද එම කොමිසම පෙන්වා දෙයි.
මීට අමතරව මෙතෙක් වත්කම් බැරකම් ප්රකාශ ලබා දී නොමැති තේරීපත් නොවූ අපේක්ෂකයන්ට සිය වත්කම් බැරකම් ප්රකාශ සැප්තැම්බර් 06 හෝ එදිනට පෙර තේරීම් භාර නිලධාරී හරහා හෝ ඍජුවම මැතිවරණ කොමිසමට භාරදිය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අයුරින් ස්වකීය වත්කම් හා බැරකම් ප්රකාශ ලබා නොදෙන්නා වූ අපේක්ෂකයන් 1988 අංක 74 දරණ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීමේ (සංශෝධන) පහතින් සංශෝධනය වූ 1975 අංක 01 දරණ වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමේ වරද සිදුකරන බවද එම කොමිසම පෙන්වා දෙයි.
මෙම වරද සිදුකරන අයෙකු පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කරන බවත්, වත්කම් බැරකම් ප්රකාශ පනතේ අදාළ විධිවිධානවලට අනුව ඕනෑම පුරවැසියෙකුට මෙම වත්කම් බැරකම් ප්රකාශ ලබාගත හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එහෙත් එම ප්රකාශ අධිකරණමය කාර්යයන් සඳහා ඉදිරිපත් කිරීම හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිත කිරීමට නීතිමය ප්රතිපාදන නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු ප්රමුඛ දේශපාලනඥයන් විසින් ස්වකීය වත්කම් හා බැරකම් ප්රකාශ උනන්දුවක් දක්වන පාර්ශ්වවල දැනගැනීම සඳහා ස්වකීය වෙබ් අඩවි හරහා ප්රසිද්ධ කරනවා නම් එය යහපත් පාලන ක්රමයකට උපකාරී වනු ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
වත්කම් බැරකම් ප්රකාශ කිරීමේ පනතේ විධිවිධානවලට අනුව නාමයෝජනා ලබාදුන් දිනයේදී හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කිරීමට පෙර භාරදිය යුතු වේ.
