මාධ්‍යවේදියාගේ මුඛ ආවරණ ගැලවීමටගිය ට්‍රම්ප්ට වැඩ වරදී
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (07දා) පස්වරුවේ ධවල මන්දිරයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාව අතරතුර රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු ජෙෆ් මේසන් සමග වචන හුවමාරුවක පැටලුණේ, ඔහු පැලඳ සිටි මුඛ ආවරණය ගලවා කතා කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම මේසන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය.
මේසන් පළමු ප්රශ්නය ඇසීමට පටන් ගත්විට ජනාධිපතිවරයා, "කරුණාකර ඔබට එය ඉවත් කිරීමට සිදුවනු ඇති" යනුවෙන් පවසමින් ඔහු නතර කළේය. ඔහු වාර්තාකරු සහ වේදිකාව අතර ඇති අවකාශයට ඉඟි කරමින්, "ඔබ ... ඔබ අඩි කීයක් ඈතින් සිටිනවාද?" යනුවෙන් ඔහුගේ සමාජ දුරස්ථභාවය ගැන විමසීය.
මුඛ ආවරණය හේතුවෙන් වන අපහැදිලිතා මගහැරවීම සඳහා තමා හඬනගා කතා කරන බව මේසන් පිළිතුරු දුන්නේය.
මෙම ප්‍රතිචාරය ගැන ට්‍රම්ප් සෑහීමකට පත් නොවූ අතර, ඔහුගේ කටහඬ ඔහු පැලඳ සිටින මුඛ ආවරණ නිසා සැඟවී ඇති බව පවසමින් වාර්තාකරුවාට යළිත් කියා සිටියේ, "එබැවින් ඔබ එය ගලවා ගන්නේ නම් එය වඩාත් පහසු වනු ඇති." යනුවෙනි.
නමුත් එයින්ද ජනාධිපතිවරයාගේ කීමට අවනත නොවූ රොයිටර් මාධ්‍යවේදී මේසන් හඬ නඟා කතා කිරීමට යළිත් ඉදිරිපත් වෙමින් උස් හඬින් කියා සිටියේ "මේ කතා කරන විදිහ හොඳද?" යනුවෙනි.
"එය වඩා හොඳයි. ඔව්, එය වඩා හොඳයි" යැයි අවසානයේ ජනාධිපතිවරයා සුසුම්ලමින් කීවේය.
කෙසේ වෙතත් පසුව ප්රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප් කියා සිටියේ තම මුඛ ආවරණය ඉවත් කළ එක් වාර්තාකරුවෙකුගේ හඬ ඉතා පැහැදිලිව ඇසුණු බවත්, එසේ නොකළ සියල්ලන් සම්බන්ධයෙන්ම ඔහුගේ විරෝධය ඉඟි කළේය.
ප්‍රශ්නයක් වඩාත් පැහැදිලිව ඇසීමට හැකි වන පරිදි මාධ්‍යවේදීන් පැලඳ සිටින මුඛ ආවරණය ගලවා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් රොයිටර් වාර්තාකරු මේසන්ගේ ප්‍රතිචාරය ඔහුගේ බලාපොරොත්තු සුන්වූ, එවැනි අත්දැකීමකට ඇමෙරිකානු නායකයා මුහුණදුන් පළමු වැනි අවස්ථාව විය.
මේ වනවිට එක්සත් ජනපදය ලොව කොවිඩ්-19 මරණ සහ ආසාදනවලින් ඉදිරියෙන්ම සිටින රට ලෙස සැලකෙයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 63ක සීමාවට පැමිණ ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 190,000ක සීමාවේ පවතී. මෙවැනි පසුබිමක මුඛ ආවරණ වැනි මහජන සෞඛ්‍යආරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ෆෙඩරල් රජයෙන් සිදුවන දිරිගැන්වීම අතිශය දුර්වල මට්ටමක පවතී.


popular news
-
Demuni Uduwara Friday, 11 September 2020 05:55 PM
Baseless critism due to election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

