බුදු දහම අපට උගන්වන්නේ අනුන් වෙනස් කිරීමට පෙර තමා තුළින් වෙනස ආරම්භ කිරීමටයි
අවි ආයුධ, යුධ තරඟකාරීත්වය, භේදබින්නකාරීත්වය සහ මානසික අසහනය මතු වූ ගෝලීය ගැටලුවලට විසඳුම් සොයන යුගයක, තම තමන්ගේ ජීවිතයත්, සමාජයත්, රටත් ගොඩනඟා ගැනීමට බුදු දහම තුළින් පෙන්වා දෙන ප්‍රායෝගික මඟ පෙන්වීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
බුදු දහම අපට උගන්වන්නේ අනුන් වෙනස් කිරීමට පෙර තමා තුළින් වෙනස ආරම්භ කිරීමට බවත්, බලයෙන් හෝ වෛරයෙන් ලෝකය දිනන්නට නොව, අවබෝධයෙන් සහ සාමයෙන් හදවත් දිනන්නට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ උත්තරීතර දහම සර්වකාලීනව මේ ලෝකයට සන්තුෂ්ටිය කරා යන මාවත විවෘත කරන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සමරු උලෙළහි සමාරම්භක අවස්ථාවට අද (28) පෙරවරුවේ එක් වෙමිනි.
එමෙන්ම, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිල වශයෙන් විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරිණි.
දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මේලනය සඳහා ථේරවාද, මහායාන සහ වජ්රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා සහ විදේශීය ගිහි නියෝජිතයන් 800කට ආසන්න පිරිසක් එක්ව සිටිති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැමරුම් උලෙළක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම රටට මහත් අභිමානයක් මෙන්ම මෙරට බෞද්ධ උරුමය සහ ආගමික අනන්‍යතාව ජාත්‍යන්තරය හමුවේ යළිත් ප්‍රකට කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරය මෙම ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමුළුවේදී බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ නැවත ගැඹුරින් සලකා බැලීමටත්, එම ඉගැන්වීම්වලට අනුගත වීම සියලු ලෝක ප්‍රජාවට මහත් ප්‍රතිලාභයක් අත්කර දෙන බවද සඳහන් කරමින් එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාව ථේරවාදී බුදුදහමේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ආරම්භ කරමින් අතිපූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ තබා ඇති සුවිශේෂී පියවරත්, මෙම සංවත්සර සමරු උලෙළ සාර්ථක කර ගැනීමට උන්වහන්සේ සිදු කරන කැපවීමත් මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් උන්වහන්සේ ඇතුළු සියලුදෙනා වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය වෙනුවෙන් සම්පාදනය කරන ලද සමරු කලාපය සහ ඒ වෙනුවෙන් එළිදක්වන ලද සමරු මුද්දරයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේදී ආරම්භ කරන බවට වූ නිල ප්‍රකාශය මෙහිදී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ සභාපති ආචාර්ය Chaokun Hui Xiong ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
