ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව බලය බෙදීම සිදු කරන ලෙස සුළු පක්ෂ ඉල්ලීම් කළද, එලෙස බලය බෙදීම හරහා සිදුවනුයේ නැවතත් රට බෙදුම්වාදයකට තල්ලු වීම බව "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ඒ අනුව මෙලෙස බලය බෙදන ලෙස ඉල්ලීම් කරන සුළු ජාතික පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම් පළමුවෙන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවද 'අද' පුවත්පතට අදහස් පළ කරමින් ඥානසාර හිමි සඳහන් කළහ.
සුළු ජාතිය නියෝජනය කිරීමට යැයි සඳහන් කරමින් දේශපාලනයට පැමිණි සුළු ජාතික පක්ෂ නායකයන් ජාතීන් එකතු කරනවා වෙනුවට ජාතිය භේද කිරීමට කටයුතු කළ බවත්, ඒ අනුව මෙම අවස්ථාවේ '13 ඉල්ලීම' හෝ '13 ප්ලස්' ඉල්ලීම සිදු නොකළ යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මේ අතර, "එක රටක් එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මාසිකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වාර්තාවක් ලබා දීම සිදු කරන බවත්, එහි පළමු වාර්තාව ලබා දීමට කටයුතු කර ඇති අතර, දෙවැනි වාර්තාව මෙම මස අවසානයේ ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කළ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ,
"මේ වන විට 'එක රටක් එක නීතියක්' සඳහා වන බළකායේ අපි උතුරු සහ නැගෙනහිර පළාත් ආවරණය කරලා තිබෙනවා ඒ සියලු දිස්ත්‍රික්කවලට ගිහින්. ඒ දිස්ත්‍රික්කවල සියලු ජනතාවගේ එකම කාරණය කියවුණේ 'එක රටක් එක නීතියක්' කියන සංකල්පය කෙසේ හෝ යථාර්ථයක් කර ගත යුතුයි කියන එක. උතුරේ සමහර පැතිවලට ගියාම අපේ මහ ආණ්ඩුවේ හෝ අපේ ව්‍යවස්ථාපිත නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට උදාහරණ සියල්ලක්ම ඔවුන් අපට දුන්නා. උදාහරණයක් ලෙස ගත්තම කාත්තන්කුඩියේ තිබෙනවා පල්ලි සම්මේලනය කියලා එකක්. ඔවුන් කාත්තන්කුඩිය පාලනය කරන්නේ පල්ලි සම්මේලනයෙන් තමයි. ආණ්ඩුවේ නීතියෙන් එහේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකෙන් පීඩා විඳින ජනතාවගේ ඉල්ලීම වුණේ මොන විදියට හරි කඩිනමින් එක රටක් එක නීතියක් කියන සංකල්පය යථාර්ථයක් කර ගත යුතුයි කියන එක. ඒකට අදාළව අපි මේ කරුණු ටික රැස් කරමින් ඉන්නේ.
මේ විදියට යන තැන් තෝරන්නේ මේ කාර්ය සාධක බළකාය විසින්. මොකද මේ සිද්ධි වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අපට තොරතුරු ලැබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් පුත්තලමට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි භේදයක් නැතිව සියලු පළාත් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බළකායට පත් කරලා ඉන්න සාමාජිකයන් අතර කිසිදු භේදයක් නෑ. ඒ සියලු දෙනා එකාවන්ව මහන්සි වෙලා වැඩ කරනවා. ඇත්තටම අපි මේ වාර්තාව දෙන්න කියලා ජනාධිපතිතුමා දිනයක් දීලා තිබෙනවා. ඒ දිනයට සතියකට කලින් අපි මේ වාර්තාව සකස් කරනවා. ඒ වගේම අපි මාසිකව සිදු කරන කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමාට ලබා දෙනවා. ඒකේ පළවෙනි වාර්තාව දැනටමත් දීලා තිබෙනවා. ඒ වගේම දෙවැනි වාර්තාව මේ මාසය අවසානයේ ජනාධිපතිතුමාට දෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ රට අපට නිදහස දීලා යන කොට සුද්දා රට පාලනය කළ විදියටම රට ගොඩ නගන්න නෙවෙයි රට බෙදිලා බෙදිලා විනාශ වෙන වැඩපිළිවෙළක් තමයි අපට දීලා ගියේ. ඒ ටිකම තමයි මේ සුළු ජාතික පක්ෂ කියලා සුළු ජාතිය නියෝජනය කරන්න කියලා ආපු නායකයෝ හැමදාම කළේ මේ ජාතිය එකතු කරනවා නෙවෙයි මේ ජාතිය භේද බින්න කරන්න වැඩපිළිවෙළ. අපට කියනවා උතුරට, නැගෙනහිරට වගේම වෙනත් ප්‍රදේශවලට ගියාම මේ ඉඩම් බලතල, පොලිස් බලතල නැතිව, අද මේ රටේ තිබෙන ප්‍රධාන නීතියවත් ක්‍රියාත්මක නොකර ජාතිවාදීව සහ ආගම්වාදීව ඇති කරලා තිබෙන ප්‍රශ්නාවලිය අපි ඇස් දෙකෙන්ම දකිද්දි, තව මේ අයට බලතල දුන්නොත් අනිවාර්යයෙන් මේ රට බෙදුම්වාදයකට තල්ලු වෙන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ මේ 13 වැනි සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීම හරහා රට නැවතත් බෙදුම්වාදයකට තල්ලු වෙන එක වෙන්නේ. දැන් කරන්න ඕන 13 ඉල්ලන එකවත් 13 ප්ලස් ඉල්ලන එකවත් නෙවෙයි. පොදුවේ මේ ජාතිවාදය, කරපින්නාගෙන ආගම්වාදය මුල්කර ගෙන දේශපාලනය කරන අය මුලින්ම පුනරුත්ථාපනය කරන එක කරන්න ඕන. සාමාන්‍ය ජනතාව මේ දේවල් ඉල්ලන්නේ නෑ" යැයි ද පවසා සිටියහ.