ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඒ අනුව පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ආයතන නිර්මාණය කීරීම සිදු කරමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
එමෙන්ම සිය පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව සෑම පක්ෂයටම පැවරී ඇති පොදු වගකීමක් බවද පෙන්වා දුන් දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කරමින් පවතින්නේ එම වගකීම බවද අවධාරණය කරන ලදී .
මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිය පක්ෂයන්හි මතය තනි තනිව ප්‍රකාශ කළ ද එකී පක්ෂ විසින් ආණ්ඩුවේ සාමූහික වගකීම රැකිය යුතු බවය.
නමුත් මෙම සාමූහික වගකීම හා රටේ තීරණාත්මක මොහොතක දී පක්ෂයක් ලෙස ඔවුන් දරණ මතය අතර පරස්පර විරෝධතා පැවතිය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
යම් ආන්දෝලනාත්මක කාරණයකදී ආණ්ඩුවේ වැඩි බලයක් දරණ පක්ෂය විසින් රටේ තීරණාත්මක අවස්ථාවක දී හවුල්කාර පක්ෂ සමඟ එකඟතාවයකින් යුක්තව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රධාන පක්ෂය විසින් තමන්ට සහය දෙන සියළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර එකී පක්ෂවල එකඟතාවය මත කටයුතු ක්‍රියා කිරීමට වග බලාගත යුතු බව ද පෙන්වා දුන්නේය .
එකී වගකීම සාමූහිකව නොදැරීම හේතුවෙන් විවේචන එල්ලකිරීම්, පස්පර අදහස් පළ කිරීම්, විවිධ කණ්ඩායම් බිහිවීම ආදීය සිදු විය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ දී, හවුල්කාර පක්ෂ දැනුවත් කර ඔවුන් සමග කතා බස් කර එම තීන්දු තීරණවලට එළඹීම හා එකඟතාවයන්වලට පැමිණීම ප්‍රධාන පක්ෂයේ වගකීමක් බවද අවධාරණය කළේය .
මෙහිදී නිරන්තරයෙන් සිදුවන විදුලි බිඳ වැටීම් පිළිබඳව ද මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරන ලදී .
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ නොරොච්චෝලේ විදුලි බලාගාරය හදිසියේ බිඳවැටුණහොත් මෙගාවොට් 900 ක විදුලි සැපයුමක් ඇණ හිටින බවයි. එවන් අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස අතිරික්ත විදුලිය ප්‍රමාණයක් නිෂ්පාදනය කර තබා ගැනීමට පහසුකම් ශ්‍රී ලංකාව තුළ තවමත් නොපවතින හෙයින්, මෙරට සක්‍රීයව පවත්නා විදුලි බලාගාර නිසි ප්‍රමිතියකින් යුක්තව පවත්වා ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කර සිටියේ ය .
ගොවීන්ට ලබා දුන් නැනෝ පොහොර දියර කෑන් පුපුරා යාම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන ලදී .
මෙම ගැටළුව සඳහා අදාළ නිලධාරීන් විසින් කඩිනමින් විසදුම් සෙවිය යුතු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම පොහොර ගොවීන්ට භාවිතයට ලබා දීමට පෙර මෙම පොහොර වගාවන්ට යෙදීම ප්‍රතිඵලදායක ද යන්න පිළිබඳව ක්ෂේත්රයේ විශේෂඥයන් විසින් විධිමත් පර්යේෂණයක් මඟින් තහවුරු කළ යුතු බවද අවධාරණය කළේය .