මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු නතර කරන ලෙස නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින්, සිය ප්‍රචාරණ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා 'අද'ට පැවසීය.
කෝවිඩ් 19 වසංගතය පැතිර යාමේ නවතම තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රචාරණ කටයුතු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දුනහොත් පමණක් සිය ප්‍රචාරණ කටයුතු නතර කරන බවද කාරියවසම් මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා,
"අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රචාරණ කටයුතු සිදුකරගෙන යනවා. රජයක් විදියට තීරණයක් අරන්, මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලුම පක්ෂවල ප්‍රචාරණ කටයුතු නතර කරන්න කියලා නිල දැනුම් දීමක් කළොත් අපිත් නතර කරනවා. ප්‍රචාරණ කටයුතු සිදුනොකර මැතිරණයක් කරන්න අපහසුයි.
රැස්වීම්, ජනහමු සහ කැන්වසින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කරගෙන යනවා. ඩිජිටල් මාධ්‍ය භාවිත කරමින් අපි ආරම්භ කරපු ප්‍රචාරණ ක්‍රමවේදය කරගෙන යනවා. යම් විදියකින් රජයක් ලෙස තීරණයක් අරන් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නොත් රැස්වීම් නවත්තන්න කියලා අපි නවත්තන්න සූදානම්." යනුවෙන් පැවසීය.