ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (2021 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත නිලධාරින් 84 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684ක් අද දින (2021 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 71 වන සංවත්සරය නිමිත්තෙන් 2021 දෙසැම්බර් මස 09 සහ 10 දිනයන්හි ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම්ලා තබා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
අද දින (2021 දෙසැම්බර් 09) අභිමානවත් 71 වන සංවත්සරය සමරන නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනතින් බ්‍රිතාන්‍යයන් විසින් දෙවන ලෝක යුද සමයේ ඔවුන්ගේ යටත් විජිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්රතිපත්තීමය තීරණයකට අනුව ‘ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’ ලෙස මෙරට ප්‍රථම වරට නාවික හමුදාවක් ස්ථාපිත විය.
ඉන් පසුව, වර්ෂ 1950 දෙසැම්බර් මස 09 වන දින 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මගින් මෙරට ස්ථිර නාවික හමුදාවේ සමාරම්භය සනිටුහන් කරමින් ස්ථාපිත වූ ‘රාජකීය ලංකා නාවික හමුදාව’, 1972 වර්ෂයේදී ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමත් සමඟ, 1972 වර්ෂයේ මැයි මස 22 වන දින ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ ලෙස පරිවර්තනය විය.