පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ මැතිවරණයෙන් පසු ගෙවුන සතිය පුරා කල නිරීක්ෂණ වලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවයි.
පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතල සිදුවීම් නොවන බවත් කැෆේ විධායක අධ්යක්ෂ වරයා සඳහන් කරයි. මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නිතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරත වීම ආදී කරුණු බව කැෆේ විධායක අධ්යක්ෂවරයා පවසයි.
මෙම සාමකාමී තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේ කැෆේ සංවිධානය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ "සාමකාමී මැතිවරණයක් උදෙසා..." යන වැඩසටහන ආදී වැඩසටහන් කළ දැනුවත් කිරීම් ද මීට හේතු වන්නට ඇති බවයි. විශේෂයෙන්ම කැෆේ සංවිධානය මැතිවරණ දිස්ත්‍රික්ක 26 ම ආවරණය වන ආකාරයට "සාමකාමී මැතිවරණයක් උදෙසා.." වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එම වැඩසටහන සදහා සර්වාගමික නායකයින් ,සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් ජන ප්‍රජාව සහභාගි කරවා ගැනුණ අතර "සාමකාමී මැතිවරණයක් සඳහා ..." පෙළගැසෙන ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ද පැවැත්විණ.
මේ ආදී වශයෙන් විවිධ සිවිල් සංවිධාන දියත් කළ වැඩසහටන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත් මැතිවරණය සාමකාමී වූ බව කැෆේ විධායක අධ්යක්ෂවරයා පෙන්වා දෙයි. කෙසේ හෝ මැතිවරණයක් යනු ත්‍රාසය සහ භීතිය උපදවන කරුණක් යන සංස්කෘතිය වෙනස් විය යුතු කාලය එළඹ ඇති බවත් ජනතාව එහි අවශ්‍යතාව කෙමෙන් කෙමෙන් අවබෝධ කරගනිමින් සිටින බවත් මනාස් මකීන් මහතා මෙහිදී පැවසීය.
