ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කණ්ඩායම ශක්තිමත්ව ඉදිරිපත් වීමේ වැඩපිළිවෙළ යටතේ අද (30දා) පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටුව රැස්වේ.
1994 වසරේදී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය බවට පත් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගා තිබෙන අතර, එම පෙරමුණ දි.මු. ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක විය.
වර්තමානය වනවිට එය ලසන්ත අලගියවන්න මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන අතර, අද (30දා) පැවැත්වෙන සාකච්ඡාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිතව තිබේ.
මීට අමතරව පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන පක්ෂ 17ක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව තිබෙන අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම මූලික කරගනිමින් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.