අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබා දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර සංවිධාන රැසක් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
1935 මැයි 24 වන දින ගැසට් අංක 8123 යටතේ මෙම වනාන්තර ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කර තිබෙනවා.
එහි අක්කර දෙකකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබීම සම්බන්ධයෙන් මෙලෙස පරිසර සංවිධාන රැසක සාමාජිකයන් තම විරෝධය පල කරනවා.
මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් කඩිනමින් අවදානය යොමු කළ යුතු බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. මේ වනවිට අදාළ රක්ෂිත ප්‍රදේශය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් හා රියදුරු පුහුණු ආයතන රැසක හිමිකරුවන් එක්ව එළි පෙහෙළි කරමින් සිටින බවට චෝදනා එල්ල වුණා.
වන අලින් , මුවන් හා මී මින්නන් වැනි සත්ත්වයින් මෙන්ම උරග විශේෂ රාශියක් හා පක්ෂීන් වර්ග රැසකට වාසස්ථානය බවට පත්ව ඇති මෙම රක්ෂිත ප්‍රදේශය අලි මංකඩක් ලෙස වන ජීවි දෙපාර්තමේන්තුව මගින් නම් කර ඇති බවද පරිසර සංවිධාන නියෝජිතයන් පවසනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අනුරාධපුර දිසා වන නිලධාරි ඒ ආර් එම් මුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ ප්‍රදේශය රක්ෂිතයට අයත් නොවන බවයි.