අය වැය පිළිබඳ විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සාධනීය අදහස් වලට සවන් දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ පළමු දිනය සඳහා අද (23දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර නව ව්‍යවස්ථාව රහසිගතව නිර්මාණය නොකරන බවත් වර්ථමානයේ කෙටුම්පතක් සකස් කරමින් තිබෙන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර ඒ පිළිබඳ සාකච්ඡාවට භාජනය කිරීමට කටයුතු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
"කෝවිඩ් වසංගතය හමුවේ රජයක් ලෙස අපි මූලිකත්වය ගත්තේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕන සෑම තීරණයක්ම අපි නිසි වෙලාවට ගත්තා කියලා මතක් කරන්න ඕනි. කෝවිඩ් වසංගතය ආරම්භයේදී අපේ රජය අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා. එම ජනාධිපති කාර්ය සාධක බලකායට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට අපගේ අධීක්ෂණය යටතේ කටයුතු කළා.
ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා ඉටු කිරීමටත්, ජනතාවගේ ගැටලු විසඳීමටත් දවසේ පැය 24 පුරාම අග්‍රාමාත්‍ය කාර්යාලට කටයුතු කළ බව අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනි. ඒ වගේම අපි පක්ෂ නායකයන් සමග අදහස් හුවමාරු කර ගත්තා.
ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කිරීමට අපි සෑම අවස්ථාවකම මැදිහත් වුනා. වෛද්‍යවරුන් හා ආරක්ෂක හමුදාවල් ඒ වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කළා. අපි දන්නවා කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික අවපාතය තදින්ම රටට බලපාලා තිබෙන බව.
ව්‍යාපාර බොහෝමයක් කඩා වැටිලා මේ අවස්ථාවේ රජය සැලසුම් කරන්නේ කෝවිඩ් වසංගතයෙන් වැටුණු ආර්ථිකය ගොඩගන්න. ඒ අනුව තමයි මුදල් ඇමතිවරයා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඇතුලත් අයවැයක් මෙවර ඉදිරිපත් කළේ. ජනතාවගේ පැත්තෙන් සිදුවන ආර්ථික සහ සාමාජීය සංවර්ධනයත් රටට අවශ්‍යයි. මේ අසීරු අවස්ථාවේ ඒ අයට නැගිටින්න පුලුවන් ආර්ථිකයක් ගොඩ නගන එක තමයි අපේ බලාපොරොත්තුව.
2019දී අපි භාර ගත්තේ කඩා වැටුනු ආර්ථිකයක්. ඒ ආර්ථිකය ඔසවා තබන්න අපේක්ෂාව මෙවර අයවැය යෝජනා වල තිබෙනවා. සුපුරුදු පරිදි තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් වාද විවාද කරනවා අපි දැක්කා. විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන සාදනීය අදහස් වලටත් අපි සවන් දෙනවා. අපි මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි.
ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. අපි ජනතාවට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කළ යුතුයි. අභියෝග හමුවේ රට ගොඩ නැගීමට අපි දරන වෙහෙසට ඔබ සියලු දෙනාගේ සහය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කළා. අපි දැන් කෙටුම්පතක් සකස් කරගෙන යනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා. ඒ පිළිබඳ අපි රහසිගතව කටයුතු කරන්නේ නැති බව තමුන්නාන්සේලාට මතක් කරනවා."