නක්ලස් පාරිසරික ආරක්ෂණ කලාපයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් පුද්ගලික ඉඩම් අක්කර 1600ක් අත්පත් කරගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
ඒ් මහතා මෙම අදහස් පළකළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නක්ලස් පාරිසරික ආරක්ෂණ කලාපය තුළ පිහිටි පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.
නක්ලස් සංරක්ෂණ කලාපයට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් තිස් එක් දහසක් පමණ වන අතර එයින් හෙක්ටයාර් 15000ක් මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන අතර ඉතිරිය මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේ. නක්ලස් සංරක්ෂිත කලාපයේ මාතලේ පිටවල පතන ආශ්‍රිතව ඇති ගෝනමඩවත්ත නම් ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් අක්කර 1600ක ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවති.
මෙම පුද්ගලික ඉඩම් අත්පත් කරගැනීමේදී අයිතිකරුවන් සොය ගැනීමට අපහසු වීම, අයිතිකරුවන් ඉදිරිපත් නොවීම වැනි ගැටළුද පවතින බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්පත් කරගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මේ වන විට ගෝනමඩවත්ත පුද්ගලික ඉඩම් මිනුම් කටයුතු කොට තක්සේරු කිරිමේ කටයුතු අවසන් අදියරේ පවති. මෙම ඉඩම් පුද්ගලික අයිතිය යටතේ පැවැතියද එම ඉඩම්වල සංවර්ධන කටයුතු සිදුකර නොතිබීම නිසා අත්පත් කරගැනීමේ කටයුතු පහසු වී ඇති බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ඉඩම් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ ( අත්පත්කරගැනීම්) කෝකිලා හේමචන්ද්‍ර , ලග්ගල ප්‍රාදේශීය ලේකම් එස්. විජේකුමාර් , නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රියන්ත සේනාධීර, මාතලේ දිසා වන නිලධාරි ඒන්.ආර් ප්‍රසාද්, දිසාවන නිලධාරි අශෝක බණ්ඩාර හේරත්, වන පාලක කේ.ආර්.ඉලුක්කුඹුර යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරින් රැසක් සහභාගි විය.
රත්තොට රුවන් ධනංජය