එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 20 කින් 30 කින් ආයේ ආණ්ඩුවක් ගන්න තියා හිතන්නවත් පුළුවන්කමක් නැති බවත්, ඒ නිසා කොරෝනා වලින් වැටිච්ච, ආර්ථිකය ශක්තිමත් නැති මේ ජන ජීවිත ශක්තිමත් කරලා ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට මේ රට පත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා එක්ක අත්වැල් බැදගන්න සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, ගල්නෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරලා අපි මේ රටේ මහා පරිවර්තනයක් බලාපොරොත්තු වුණා. හිටපු ජනාධිපතිවරු හැමෝටම වඩා වෙනස් විදිහකට මේ රට පාලනය කරයි කියලා අපි බලාපොරෝත්තු වුණා. හැබැයි පහුගිය දවස් වල ටීවී එක බැලුවම අපිට තේරුණා ගෝඨාභය මහත්තයාට විතරක් මේක කරන්න බෑ කියලා. ඒ නිසානේ එතුමාට නිලධාරීන් ගෙනල්ලා කෑ ගහන්න සිද්ධ වුණේ.
එහෙම නම් අපි එතුමට ගැලපෙන ශක්තිමත් කණ්ඩායමක් එක්ක 2/3ක පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ඕන. මේ 2/3 ක බලයක් තුළ අපිට පුළුවන්කම ලැබෙනවා මේ රටට අවශ්‍ය නීතී-රීතී ගේන්න වගේම අනවශ්‍ය නීතී-රීතී අයින් කරන්න. අපි දන්නවා සමහර වෙලාවට මේ තියෙන නීතී -රීතී එක්ක අපිට මේ රට පාලනය කරන්න ගියහම තමයි අර ගෝඨාභය මහත්තයා තරහින් කෑ ගැහුවා වගේ කෑ ගහන්න වෙන්නේ. මොකද ලෝකයත් එක්ක ඉස්සරහට යන කොට අලුත් වෙන්න ඕන. එතුමා කිව්වේ කොරෝනා වලින් ආර්ථිකය කඩා වැටුණු ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැංකු වලට උදවු කරන්න කියලා.
බැංකු වලට එහෙම කරන්න බැරි නීති- රීතී තියනවා නම් අපි ඒවා ටික වෙනස් කරලා දෙන්න ඕන. ඒවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවට බලය තියෙන්න ඕන. ඒ නිසා ඔබතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා පහුගිය මැතිවරණයේදී ගෝඨාභය මහත්තයා දිනවන්න මහන්සි වුණාට වඩා වැඩි මහන්සියකින්, මේ මැතිවරණයේදී 2/3 ක බලයක් ගන්න මහන්සි වුණේ නැත්නම් අර කලින් පාර්ලිමේන්තු වගේම ගෝඨාභය මහත්තයත් තව අවුරුදු 05කින් ඇවිත් කියයි ඔයගොල්ල මට බලය දුන්නට මට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දුන්නේ නෑ , ඒ නිසා මටත් කරන්න බැරි වුණා කියලා කියයි කලින් හිටිය ජනාධිපතිවරු වගේම. ඒ නිසා අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳගෙන 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න තමයි මේ වෙලාවේ අධිෂ්ඨාන කර ගන්න ඕනකම තියෙන්නේ" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
