මුළු රටේම ආන්දෝලනයට පත්වූ දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේදි පුද්ගලයෙකු වූ ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තුන්දෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ ( 29 ) රාත්‍රීයේ දඹුල්ල පොලීසියට භාරදී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන පහල මාපිටිගම ,කහවත්ත අටකලම්පන යන ප්‍රදේශවල පදිංචි ගෝනආරච්චිගේ සිදේශ් රංගන (40) ගොකරැල්ල කන්දෙගෙදර පදිංචි දසනායක මුදියන්සේලාගේ නලින් දිමුතු කුමාර දසනායක (40) සහ ඕපනායක නවජාගොඩගම පදිංචි එගොඩ හත්තල්ලගේ අමිල දිල්ශාන් කුමාර (39) යන තිදෙනා බව පොලීසිය කියයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ මොරගහහේන මිල්ලාව ගුණානන්ද මාවතේ පදිංචි කන්කානම්ලාගේ ප්‍රදිප් නිශාන්ත කුමාර පෙරේරා (43) තිදරු පියෙක් යන අයකු බව හදුනාගෙන තිබේ .
ඝාතනය කිරීම සදහා යොදාගත් බව කියන යතුරුපැදියක් හා ටිපර් රථයක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත .
පසුගිය 16 වන දින දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ වන ලැහැබක් තුළ ටයර් දමා නාදුනන අයෙකු පුළුස්සා ඇති බව පොලීසිය සොයා ගෙන තිබිණි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහකට ලක්ව තිබිණි.
පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙසේ මියගොස් ඇත්තේ වැලි ටිපර් රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද තවත් වැලි ටිපර් හිමි කරුවන් දෙදෙනෙකු හා කම්කරුවෙකු බව පොලීසිය කියයි.
මේ පිරිස ගෝන වැව ඉදිකිරීම් සඳහා වැලි සපයන පිරිසක් බව පොලීසිය කියයි . මියගිය වැලි ටිපර් කරුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අනෙක් සැකකරුවන් දෙදෙනාගේ ද සහාය ලබාගෙන ඇති බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා ඝාතනය කිරීමට දින කිහිපයකට ඉහත දී ටිපර් රථයක් හරහා පරණ ටයර් මෙම ස්ථානයට ගෙනවිත් දමා තිබෙන බවත් පසුව 16 දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමග අදාළ ස්ථානයේ මත්පැන් සාදයක් පවත්වා උදැල්ලකින් ගෙල කපා ඝාතනය කොට පරණ ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී .එදිරිසිංහ මහතා පැවසීය.
සැකකරුවන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් අධිකරණ නියෝගයක් ලබාගෙන ඉදිරියේදී තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
දඹුල්ල පොලිස් අධිකාරි ගාමිණි මිගහකුබුර මහතාගේ උපදෙස් අනුව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස් .පි .එදිරිසිංහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාමේන්ද්‍ර ලක්ෂ්මන ඇතුළු නිලධාරි පිරිසක් පරීක්ෂණ පවත්වති.
