ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් මේ වන තුරු එම මැතිවරණ ක්‍රියාන්විතය උණුසුම්කාරී තත්ත්වයට පත්ව නැත.
ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයා වන්නේ වත්මන් රජයේ ප්‍රභල ඇමති වරයෙකු වන ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලකය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇල්පිටිය ආසන සංවිධායිකාව වන්නේ ප්‍රවීණ සිනමා නිළි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇල්පිටිය මෙහෙයවන්නේ හිටපු ප්‍රාදේශීස සභා සභාපති වරයෙකු වන අමිල කර්ෂණ කාරියවසම්ය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පැවැත්වීමට නියමිත මෙම මැතිවරණයට ඇත්තේ ඉතා කෙටි කාලයකි. නමුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානය එහි අපේක්ෂකයින් සහ කියුම් කෙරුම් කෙරෙහි යොමුව ඇත. මේ නිසා ඇල්පිටිය පළාත් පාලන ආයතනයට අදාළ මැතිවරණය කෙරෙහි පවන්තා උනන්දුව බොහෝ දුරට හීන වී ඇතියි සිතිය හැකිය. ඇල්පිටිය ආසන සංවිධායක වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරායි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පැවැත්වෙන මෙම මැතිවරණය වඩාත් තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ ජනාධිපති වරණයට කලියෙන් එන මැතිවරණය නිසාවෙනි.
නමුත් දිනෙන් දින ගතව හැළ හොල්මනක් නැතිව මැතිවරණය ආසන්න වෙද්දීත් ඉතාම සාමකාමී පරිසරයක් තුළ ඇල්පිටිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවනු දැකිය හැකිය.
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 11 වැනි දින පවත්වන ලෙස මැතිවරණ කොමිසම මගින් පසුගිය සැප්තැම්බර් 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුණි.
ඉකුත් වසරේ පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබුනි.
වසර එකහමාරක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය යළි පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කරනු ලැබීය. ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණයට දින නියම වන්නේ ඉන් අනතුරුවය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තොරා ගැනීම වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන හතලිස් හතකදීය.
ප්‍රාදේශීය සභා කොට්ඨාස දහහතරක් වෙනුවෙන් සභිකයින් දහ හතර දෙනෙකුද සමානුපාතික නියෝජිතයින් ද සමග සභිකයින් විසිඅට දෙනෙකු මෙම මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තේරී පත්වීමට නියමිතය.
2018 වර්ෂයේ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ නාම ලේඛනයට අනුව ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද දායකයින් පනස් තුන්දහස් තුන්සිය අසූහතරක් සුදුසුකම් ලබා තිබේ.
ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ යූ චන්ද්‍රලාල් මහතා පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරනු ලැබ ඇති බවයි.
කෙසේ වෙතත් මෙම මැතිවරණයේදී මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් පැෆරල් සංවිධානය මගින් පුහුණු නිරීක්ෂකයින් කොට්ඨාස මට්ටමින් යොදවනු ලැබ ඇති බැව් එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයානාත් මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන් දින ආරක්ෂක කටයුතු සඳහා එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් සිවුදෙනා බැගින් යොදවන බවද ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
එසේම ජංගම මුර සංචාරක රත මෙන්ම අවශ්‍ය වුවහොත් පොලිස් පුරපොලවල් වල ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට අපෙක්ෂා කරන බැව්ද ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් සතියකටත් වඩා අඩුකාල සීමාවකි. කවුරුන් මැතිවරණයෙන් ජය ගත්තද පරාජය වුවද ප්රචණ්ඩ ක්‍රියා ජීවිත හානි ගිනි තැබීම් ආදී අනර්ථකාරී අත්දැකීම් වලින් තොරව මැතිවරණ පැවැත්විය හැකි බවට ගාල්ලෙන් ආදර්ශක් ලබා දිය හැකි නම් ඇල්පිටිය පුංචි ඡන්දය ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයටද හොඳ පූර්වාදර්ශයක් බව සඳහන් කළ යුතුය.
