මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු - තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට තරුණ පරපුර වෙත පවසා සිටියේය.
මහරගම පැවති ‘අනාගතය අපි’ තරුණ ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ,
“අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය මීට වසර කීපයකට පෙර ආරම්භ වුණේ ඉතාමත්ම පුළුල් සහ වැදගත් අරමුණු රාශියක් පදනම් කරගෙන. ඒ අතර තියෙන වැදගත්ම කාරණය තමයි මේ රටේ ඊළඟ පරම්පරාවේ නායකත්වය නිර්මාණය කරන තරුණ පරපුර බවට පත්වීම. හැමෝම තරුණ ව්‍යාපාරයක් ගොඩනඟන්නේ නායකත්වයක් නිර්මාණය කිරීමට නොවෙයි තිබෙන නායකත්වයන් පෝෂණය කර ගැනීමට. මෙම තරුණ ව්‍යාපාරය ඊට වඩා වෙනස්. තිබෙන නායකත්වයන් පෝෂණය කරනවා වෙනුවට රටට, ජාතියට උපකාර වන අන්දමේ නව පරම්පරාවේ නායකත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය පදනම ගොඩනගාගන්න තමයි මේ ‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය නිර්මාණය වුණේ.
ඔබ කවුරුත් අමතක නොකළ යුතුයි, මේ පය ගහලා ඉන්න භූමිය බොහෝ ආක්රමණිකයන්ගේ ප්‍රහාරවලට ලක් වෙලා මියගිය මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් ඔපමට්ටම් වුණු භූමියක් බව. යුරෝපා ආක්‍රමණිකයන් අවුරුදු පන්සීයක් මේ රටේ හිටියා. එහෙත් ඒක සිංහල භාෂාවත්, බුදුදහමත් මකන්න බැරි වුණු යුගයක්. ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් ලතින් ඇමරිකාවේ හිටියා අවුරුදු විස්සක්. ලතින් ඇමරිකාවේ තිබුණු සෑම ප්‍රාදේශීය භාෂාවක්ම සහ ප්‍රාදේශීය ආගමක්ම ඒ අවුරුදු 20 ඇතුලේ අතුගා දාලා ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වුණා. මුළු ලතින් ඇමරිකාවේම ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ ආගම පතුරවන්න. අපිට අපේම භාෂාවක් නොතිබුණා නම් ඉංග්‍රීසි ජාතීන්ට එය වෙනස් කරන්න පහසු වෙන්න තිබුණා. අවුරුදු පන්සියයක් යුරෝපා ආක්‍රමණිකයන් මේ රට තුළ ඉඳලා ඇයි අපේ රටේ දේවල් නැති කරන්න ඔවුන්ට බැරි වුණේ?
