ආදරණීය සිංහල කතා කරන මිතුරන්ට... <"එකම රටක් එකම නීතියක්" ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ඥානසාර හිමියන්, එවකට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා වූ මා සමඟ කළ කථාංගය, මිහිරි සිංහලෙන් විස්තරාත්මකව>
<... මේක සිංහල බෞද්ධ රටක් නිසා දමිළ හා මුස්ලිම් ජනතාව පිටින් පැමිණි වැසියන් බව කිව්වා... මහාවංශයේ විජය කුමරු තමන්ගේ සහයකයන් සමඟ ශ්‍රීලංකා ද්වීපයේ බටහිර වෙරළ තීරයේ ගොඩ බැසූ බව මහාවංශයේ සඳහන් වනවා නේද, කියලා මම කිව්වා... ප්‍රභාකරන්ව මරපු එක වැරදියි. ප්රභාකරන් තවත් ඉන්ඩ තිබුණා." කියලා, නැවත ඥානසාර හිමි කිව්වා...>
ඒ මම ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාල වකවානුවයි. දවසක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හිමි මගේ ලේකම්වරයා අමතා, මා හමුවීමට කාලය ඉල්ලා සිටියා. ඔහු ඉල්ලා සිටි දිනයේ සිට හරියටම සතියකට පසු දිනක උදේ 10 ට හමුවීමට කාලය ලබා දුන්නා.
නමුත් එදා දවසට පළමු රාත්‍රියේ රූපවාහිනියේ ප්රවෘත්ති නරඹමින් සිටියදී, ප්රවෘත්තිවල පෙනීසිටි ඥානසාර හිමි මගේ නම කියමින් මහා විලාපයක් කියන්නට පටන් ගත්තා.
මනෝ ගනේෂන් උතුරට ගොස් තමන්ගේ ජාතික සහජීවන ප්‍රචාරණය දමිළ භාෂාවෙන් කළ යුතුයි. දකුණට ගිහින් ඒක සිංහලෙන් කරන්න අවශ්‍ය නැහැ කියලා ඔහු මාව දැඩි ලෙස විවේචනය කළා.
මම සිංහල ජනතාව අතර සිංහල භාෂාවෙන් මේ රට බහු වාර්ගික, බහු භාෂා, බහු ආගමික රටක් යන තේමාව යටතේ සාකච්ඡා සිය ගණනක් පවත්වා තිබෙනවා. මේ රට එක ජාතියකට, එක භාෂාවකට, එක ආගමකට අයත් නොවන බවයි ඒකේ අවසාන කරුණ වන්නේ. මෙම ප්‍රචාරණය සිංහල ජනතාව අතරේ සාර්ථක නොවූ බව ඇතැම් දමිළ කතා කරන බුද්ධිමතුන් කියා ගන්නා පිරිස විසින් පවසයි. මගේ අදහස නම් මෙම ප්‍රචාරණය සාර්ථක වාඩසටහනක් වුණා.
තවත් වසර පහක් ලැබිලා තිබුණා නම් සිංහල ජනතාව අතර දැවැන්ත වෙනසක් ඇති කළ හැකිව තිබුණා.
ජාතික සහජීවන ප්‍රචාරණය නොපැවත්වානම් තත්ත්වය මීටත් වඩා දරුණු වීමට ඉඩ තිබුණා. අපේ අමාත්‍යාංශයේ ප්රචාරණයේ ප්‍රතිඵලයක් විදියට තමයි ඥානසාර හිමි වගේ අය මාත් එක්ක තරහා වුණේ. මම සිංහලෙන් කතා කරනකොට තවත් තරහ ගියා.
මේක සාමාන්‍යයි. මීට පෙර රවිරාජ් ගැනත් මෙයාලට මේවගේ තරහක් තිබුණා.
ඥානසාර හිමිගේ ප්‍රවෘත්තිය රූපවාහිනියේ දැකපු මම, එවෙලේම මගේ ලේකම්වරයාට කතාකරලා "ඥානසාර හිමිට කියන්න හෙට මාව බලන්න එන්න එපා කියලා. එපයින්මන්ට් කැන්සල්. දැන්ම, මේ රාත්‍රියේම දුරකථනයෙන් කතාකරලා කියලා දාන්න" කියලා කිව්වා.
පහුවදා උදේ නවයට විතර මගේ ලේකම්වරයා මට කතා කළා. "හමුවීම අවලංගු කර ඇති බව කියලත් අනිවාර්යයෙන්ම ඔබ හමුවීමට 10 ට පැමිණෙන බව ඥානසාර හිමි මුරණ්ඩු වන බව මට තොරතුරු ලැබුණා" යැයි ඔහු කිව්වා. "එහෙම ආවොත් ඇවිත් ඉන්න කියන්න, වෙලාවක් තිබුනොත් බලන්නම්" කියලා මම කිව්වා.
ඊට පස්සේ 10 ට කිව්වා වගේ ඔහු පැමිණ සිටින බව අමාත්‍යාංශයේ ආරක්ෂක නිලධාරියා මගේ ආරක්ෂක නිලධාරියාට දන්වා සිටියා. එදා උදේ හමුවීම නැති නිසා මම ගෙදර සිට පක්ෂ වැඩ කරගෙන හිටියා. 10.50 ට ලේකම්වරයා නැවත දුරකථනයෙන් කතාකලා. පැයකට ආසන්න කාලයක් මෙහෙ අමාත්‍යාංශයට ඇවිත් ඥානසාර හිමි ඔබ එනකම් බලන් ඉන්නවා කියලා කිව්වා.
එහෙම නම් ඉන්න කියන්න, මම එනවා කිව්වා. 11.15ට පමණ මම අමාත්‍යාංශයට ගියා. ඒ අතරතුර මගේ ආරක්ෂක නිලධාරියා රාජගිරිය (වැලිකඩ) පොලීසියට දැනුම් දීලා එම පොලීසියේ ස්ථානාධිපති සමග පොලිස් නිලධාරීන් විශාල පිරිසත් මම එනකම් බිම් මහලේ බලා සිටියා.
උදේ 10ට එනකොට විදුලි සෝපානය ළඟට ඇවිත් තමන්ව කැඳවාගෙන ගිය නැත්තේ ඇයි කියලා ඥානසාර හිමියන් මගේ ලේකම් ප්‍රියානි එක්ක වාද කරලා තියෙනවා. ඔබව කැඳවාගෙන යෑම මගේ වැඩක් නෙවෙයි. ඒක අමාත්‍යාංශ ලේකම්වරයාගේ වැඩක්. ඒක එයාගෙන් අහන්න කියලා ප්‍රියානි උත්තර දීලා තියෙනවා.
පසුව මම සම්මන්ත්රණ ශාලාවට ගියා. සම්මන්ත්රණ ශාලාවේ මේසයේ දකුණු පැත්තේ ඥානසාර හිමි සහ සගයන් වූ තවත් හිමිවරු දෙදෙනෙක් වාඩි වී සිටියා.
වම් පැත්තේ මගේ අමාත්‍යාංශයේ ලේකම්වරුන් සහ නිලධාරීන් වාඩි වී සිටියා. මාධ්‍යවේදීන්ද රූපවාහිනී කැමරාවල් සමග ශාලාවේ පිරී හිටියා. මම ඇවිත් මගේ ප්‍රධාන අසුනේ වාඩි වුණා.
ආයුබෝවන් හාමුදුරුවනේ, කියන්න මොකක්ද කාරණය කියලා ඇහුවා. ඔහු ක්ෂණිකව දමන්ට මෙම අමාත්‍යාංශයේදී ගෞරවයක් ලැබුණේ නැහැ. මාව ඔබේ ලේකම් පහලට ඇවිල්ලා කැඳවාගෙන ආවේ නැහැ කියලා කිව්වා.
"ඒක එයාගෙ වැඩක් නෙවෙයි නේද? ඔබගේ මෙම හමුවීම අවලංගු කළ නිසා ඔබ එන්නෙ නෑ කියලා එයාලා හිතන්න ඇති", කියලා මම කිව්වා
එසැණින් ඔහු ලේකම්වරයා අතහැර මාව අල්ල ගත්තා. ඇයි රැස්වීම අවලංගු කළේ කියලා ඔහු මගෙන් ඇහුවා. සහජීවන ප්‍රචාරණය ගැන ඔබ ඊයේ රාත්‍රියේ රූපවාහිනියෙන් මාව දැඩි ලෙස විවේචනය කළා. එනිසා අපි අතර කතා කරන්න දෙයක් නෑ කියලා හිතුන නිසා අවලංගු කළා. අමාත්‍යාංශයට ඇවිත් රණ්ඩු වෙන්න බැහැ නේ? කියලා ප්‍රශ්නාර්ථ සමග අවසන් කළා.
නෑ, නෑ කතාකරන්න තිබෙනවා කියලා කිව්වා. එහෙමනම් කියන්න කියලා මම කිව්වා. ඥානසාර හිමිගේ ළඟ රාවණා බලය යන තවත් සංවිධානයේ හාමදුරු කෙනෙකුත්, තවත් සංවිධානයක හාමුදුරු කෙනෙකුත් හිටියා. ඥානසාර හිමි ආරම්භ කළා.
"මේක සිංහල බෞද්ධ රටක්, ඔයාලා දමිළ හා මුස්ලිම් අය පිටින් පැමිණි වැසියන්. අපගේ ඉතිහාසය, විවිධ සෙල්ලිපිවල ලියා කැටයම් කර තිබෙනවා. ඔබලා මේ රටේ ජීවත් වන්නේ සිංහල බෞද්ධයන්ගේ යහපත් චේතනාව නිසයි. එනිසා සහජීවනය සම්බන්ධයෙන් ඔබගේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. ඔබට උපදෙස් කරන්න අවශ්‍ය නම් වවුනියාවට එහා ගොස් දමිළ ජනතාවට කියන්න. නැගෙනහිර පළාතේ දමිළ ජනතාවට කියන්න. එහෙ ජීවත්වන මුස්ලිම් අයටත් කියන්න. මේක සිංහල බෞද්ධ රටක් කියන එක පිළිඅරගෙන ජීවත් වන්න කියන්න. මහාවංශ නැමති අපගේ වසර 2000 ක ඉතිහාසය, සෙල්ලිපි වල සහ පුස්කොළ පොත්වල ලියැවී, අදටත් නවීන ග්රන්ථ ආකාරයෙන් තිබෙනවා. අරන් කියවන්න. අපි කවුද, ඔබ කවුද කියලා ඔබට තේරෙයි", කියලා කිව්වා.
මම මුහුණේ සිනහවක් එක්ක, ඇස්වල කිසිදු චලනයක් නැතුව, දකුණු අත කම්මුල මත තබා ගෙන, සෘජුවම ඥානසාර හිමියන්ගේ මුහුණ දෙස බලාගෙන, අහගෙන හිටියා.
කිසිම චලනයක් නැති මගේ මුහුණ දැකපු ගමන් ළඟ හිටපු රාවණා බලයේ හාමුදුරුවන්ට මොනවා හිතුනද දන්නෑ, ඔහු ඥානසාර හිමිට “ඇමතිතුමාට ඔබ කියන දේ තේරෙනවාද දන්නේ නැහැ. ඔහු මහාවංශයේ ඉතිහාසය දන්න බව පේන්නේ නැහැ" කියලා සැක පළ කළා.
මට ඔවුන්ගේ සිංහල තේරුණා. නමුත් මට ඒක තේරුණා කියලා ඔවුන්ට දැනුනේ නැහැ. මේක තමයි අවුල.
ඥානසාර හිමි මා දෙස බලා, “හරි, කියන්න. මගෙන් ප්‍රශ්ණයක් තියෙනවා. ඒකට උත්තර දෙන්නකෝ". " මේ රට සිංහල බෞද්ධ රටක් කියලා මම කියනවා. ඒක පිළිගන්නවාද?" කියලා එකපාරටම ඇහුවා. "මේක බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාමීය රටක්" කියලා මම උත්තර දුන්නා.
ඥානසාර හිමිට තරහ ගියා. "එහෙම නෙවෙයි යෝදයෝ. මේක සිංහල බෞද්ධ රටක්. ඔයාලා පිටින් පැමිණි වැසියන්. අයිතිවාසිකම් ඉල්ලන්න බැහැ" කියලා කිව්වා.
මම "සමාවෙන්න හාමුදුරුවනේ! ඔපලාගේ මහාවංශයේ සඳහන් වන කරුණක් කියන්නද?" කියලා ඥානසාර හිමි ළඟ වාඩිවෙලා හිටිය රාවණා බලයේ හිමි දිහා බලාගෙන ඇහුවා. මොකද ඔහුනේ මට මහාවංශය දන්නවද කියලා සැක මතු කලේ.
"මහාවංශයේ විජය කුමරු නැගෙනහිර ඉන්දියාවේ සිට තමන්ගේ සහයකයන් සමඟ ශ්‍රීලංකා ද්වීපයේ බටහිර වෙරළ තීරයේ ගොඩ බැසූ බව සඳහන් වනවා නේද?" කියලා ඇහුවා.
මම මොනවද කියන්න යන්නේ කියන එක තේරුම් නොගත් ඥානසාර හිමි "ඔව්, ඔව්" කියලා හිස වැනුවා.
“විජය කුමරු මෙහෙ ආදිවාසී රැජින වූ කුවේණි සමඟ විවාහ වුණා. දරුවන් ලැබුනා. පසුව කුවෙනිව එළවා දැම්මා.
තමන්ටත් තමන් සමඟ පැමිණි සහයකයන්ටත් කාන්තාවන් හෙව්වා. දකුණු ඉන්දියාවට දූතයෙකු යවා පාණ්ඩ්‍ය රටින් කුමාරිකාවක් සහ කාන්තාවන් රාශියක් ගෙන්වා ගත්තා. කුමාරිකාව සමඟ එයා විවාහ වුණා. තමන්ගේ සහයකයන්ට අනිත් කාන්තාවන්ව බන්දලා දුන්නා. මෙතෙන් සිට නේද සිංහල ජාතිය බිහිවුණේ? එහෙම නේද මහාවංශය කියන්නේ?" කියලා ප්‍රශ්නාර්ථයත් එක්ක කියලා අවසන් කළා.
සාකච්ජාවේ බරපතලකම තේරුම් ගත් ඥානසාර හිමි හිස පහත් කරගෙන මේසය මත තිබූ පැන්සලක් අරගෙන මේසයට තට්ටු කරමින් “නෑ නෑ ඒක බොරුවක්” කියලා කිව්වා.
“මොකක්ද බොරු? මම කියපු දේ බොරුවක්ද? මුළු මහාවංශයම බොරුවක්ද?
"නෑ,නෑ. මෙම කරුණු වැරදියි"
දැන් උත්වේගය නැති හඬින් ඥානසාර හිමි උත්තර දුන්නා.
මම උත්වේගයෙන් නැවත කිව්වා. "ඒක කොහොමද හාමුදුරුවනේ, සමහර දේවල් හරි කියලා කියනවා. සමහර දේවල් වැරදි කියලා කියනවා. මේ සියලු දේවල් වල එකතුව නේද මහාවංශය කියන්නේ" කියමින් මම දිගටම කිව්වා.
“මගේ මතය නම් මේ රටේ ජීවත් වන හැමෝම පිටින් පැමිණි වැසියන්. ආපු වෙලාවල් හා ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. අද මේ රටේ සිංහල භාෂාව කතාකරන අයත්, බුද්ධාගම අනුගමනය කරන අයත් තමයි සංඛ්‍යාව වශයෙන් බහුතරයන්. ඒගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම එකතු වුණොත් තමයි සම්පූර්ණ ලංකාවක් හැදෙන්නේ" කියලා කිව්වා.
ඥානසාර හිමිගේ මුහුණ අඳුරු වුණා. සාකච්ඡාව වෙනත් පැත්තකට හැරෙව්වා. එකපාරටම මුස්ලිම් අයට විරුද්ධව කතා කරන්න පටන් ගෙන සිංහල බෞද්ධයන් සමඟ දමිළ හින්දුවරුන් එකතුවෙලා මුස්ලිම් ආධිපත්‍යයට විරුද්ධ වෙන්න ඕනේ කියලා කිව්වා.
ඔබට මුස්ලිම් අය සමග තියෙන ප්රශ්නය මොකක්ද කියලා මම ඇහුවා.
ඥානසාර හිමි කොලයක් ගත්තා. ඒකේ ඔහු විසින්ම ලියලා අරං ආපු මුස්ලිම්වරුන් සම්බන්ධ චෝදනා ටික කියවන්න පටන් ගත්තා.
"ඇත්තටම ප්‍රභාකරන්ව මරපු එක වැරදියි. ප්රභාකරන් ඉන්න තිබුණා" කියලා කිව්වා.
"ඒ මොකද එකපාරටම ප්රභාකරන් ඉන්න තිබුණා කියලා කියන්නේ? හේතුව මොනවාද?" කියලා ඇහුවා.
"ප්රභාකරන් හිටියානම් මුස්ලිම්වරුන් මේතරම් නටන්න එන්නේ නැහැ. මුස්ලිම් දේශපාලනඥයෝද කට වහගෙන ඉඳියි", කියලා තවදුරටත් දිගටම කිව්වා.
"ප්රභාකරන් බෞද්ධ ස්මාරක විනාශ කළේ නැහැ. ඔහු ඒවා ආරක්ෂා කළා. නමුත් අද මුස්ලිම්වරුන් නැගෙනහිර පළාතේ බෞද්ධ ස්මාරක විනාශ කරමින් බෞද්ධයන්ගේ ඉඩම් සියල්ල කොල්ලකනවා," කියලා කිව්වා.
මට හිනා ගියා. ඔහු වැනි හාමුදුරුවන් තමයි එල්.ටී.ටී.ඊ සංවිධානය බෞද්ධ ස්මාරක විනාශ කළ බවත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බවත් දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියේ. නමුත් දැන් මෙවැනි කතාවක් කියනවා.
මට නම්, දමිළ ජනයාට එරෙහි ‘සිංහල-මුස්ලිම් හවුල’, මුස්ලිම්වරුන්ට එරෙහි ‘දමිළ-සිංහල හවුල’ නැත්නම් සිංහලයන්ට එරෙහි ‘දමිළ-මුස්ලිම් හවුල’ ගැන විශ්වාස නැහැ. මේ සියල්ල සෘතුමය සන්ධානය. සෘතු අවසන් වූ වහාම සන්ධානය ද අවසන් වේ. වසන්ත සෘතු අවසන් වූ වහාම ගිම්හාන සෘතු පැමිණේ. සරත් සෘතු ඉවර වෙලා ශීත සෘතු එනවා. ඒ නිසා ඔහුගේ මේ තර්කය මගේ හිතට ඇල්ලුවේ නැහැ.
මාව වට්ටන්න ආපු ඔහු අසරණ වුණා කියන එක අතන ඉඳගෙන හිටපු මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ මුහුණුවලින්ම පෙනුනා.
“මුස්ලිම් දේශපාලකයින් ගැන ඔබ චෝදනා රාශියක් එල්ල කළා. ඒ ගැන මට ලිඛිතව ලැයිස්තුවක් දෙන්න පුළුවන් ද?" කියලා ඇහුවා. "දෙන්නම්. තව දවස් දෙකකින් එවන්නම්" කියා ඥානසාර හිමියන් අතනින් ගියා.
ඔහු කියපු ලැයිස්තු කිසිවක් මට එව්වේ නෑ. ඔහු එවන්නේ නැති බව මම දැනගෙන සිටියා.