එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගොස් සිටින කණ්ඩායම හරි වෙලාවකට එකම වේදිකාවකට එකතු වේවි යැයි තමන් සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නව වසරේ නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීම පිණිස අද (08දා) පැවති උත්සවයේදී රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
" අද රටේ සමස්ත ජනතාව දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතිනවා. දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. ජනතාවට දේශපාලනය කියන එකත් එපාවෙලා තිබෙනවා. පසුගිය යහපාලන රජය සමයේ ජනතාව යම්කිසි බලාපොරොත්තුවක් තියා ගත්තා, රට තුල දේශපාලනඥයින් විසින් සිදු කරන දූෂණ වංචා අවසන් කරල වෙනසක් කරාවිය කියල.
නමුත් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ කඹ ඇදිල්ල නිසා හිටපු හොරු ටික නිදැල්ලේ නිදහසේ ඉදිමින් තමන්ගේ දේශපාලන වැඩටික කරගෙන මිනිස්සුන්ගේ ඔලු වලට ජාතිවාදය වපුරලා රජ උනා.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියා ගත්තා රටේ ජාතික ආරක්ෂාව තවත් ශක්තිමත් කරගෙන එතුමා දේශපාලනඥයෙකු නොවන නිසා මේ හොරු ටික අල්ලලා හරි පාලනයක් කරාවිය කියල.
හැට නව ලක්ෂයක් ඡන්දය දුන්න. නමුත් අද වෙලා තියෙන්නෙ මොකක්ද.? අද එතුමාට හරියට වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා. විසි වෙනි සංශෝධනයක් ගෙනල්ල පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියාගෙන අද මේ ආණ්ඩුවට කිසි දෙයක් කරන්න බැරිවෙලා තිබෙනව.
රටේ ජනතාවට අද විශාල ආර්ථික අපහසුතාවයකට මුහුණ දීමට සිදුව තිබෙනව. ආර්ථික කළමනකරණයක් කිරීමට මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. අද පුවත්පත්පතක් බැලුවොත්, ප්‍රවෘත්තියක් ඇහුවොත් අපි දකින්නෙ මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඉතාමත් හිනායන කතා තමයි කියන්නෙ , රටේ ආර්ථිකය ගැන.
අද මේ රට බංකොලොත් භාවයට පත්ව තිබෙනවා. මේ ආර්ථික ප්‍රශ්ණය හේතුව මහ බැංකුවට ඩොලර් නොමැති වීමයි. ඩොලර් නොමැතිකම නිසා අනෙක් රටවල් සමග අපට ගනුදෙනු කරන්න බැරිව තිබෙනව. මේ රටට අවශ්‍ය ආහාරටික , පොහොර ටික ගෙන්වගන්න බැරිව තිබෙනව. රටට අවශ්‍ය අමු ද්‍රව්‍ය ගේන්න බැරිව තිබෙනව. මේ වගේ ප්‍රශ්ණ ගණනාවකටම මුහුණ පෑමට සිදුව තිබෙනව. නමුත් රජයේ මැති ඇමතිවරුන් කියන්නෙ කිසි ප්‍රශ්ණයක් නැහැ කියලයි. අද ඩොලර් නොමැතිවීමෙන් ජීවන වියදම සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනව. අද ජනතාවට ජීවත් වෙන්න අමාරුයි.
පසුගිය දිනවල මේ රජය රුපියල් පන්දහසක සහන මල්ලක් ලබාදීම සිදු කළා. රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට. එක පැත්තකින් අපි සතුටු වෙනව රටේ ජනතාවගෙන් කොටසකටවත් යම් සහනයක් ලබා දීම ගැන. නමුත් මේ සහන මල්ලෙන් මේ රටේ ආර්ථික ප්‍රශ්ණයට විසදුමක් නැහැ. මේ සහන මල්ලෙන් රටේ ඩොලර් ටික වැඩි කරන්නත් බැහැ. මේ සහන මල්ල සදහා මිලියන ගණනක් වැය කරන්න වෙනව.
පසුගිය අයවැයෙන් මෙහෙම සහන මල්ලක් ගැන කිව්වෙත් නැහැ. එහෙනම් කොහෙන්ද මේ මුදල් ටික ගේන්නෙ. මේ සදහා තවත් මුදල් අච්චු ගැසිය යුතුයි. මුදල් ටික අච්චු ගසා මුදල් දෙනවිට ආපසු උද්ධමනය වැඩි වෙනව. රුපියල බාල්දු වෙනව. ඒ කියන්නෙ බඩුමිල ආපහු වැඩි වෙනව. මින් උඩ සාක්කුවට පන්දාහක් දමා යට සාක්කුවෙන් දස දහසක් ගැනීමක් වැනි දෙයක් තමයි වෙන්නෙ. මින් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ප්‍රෝඩාව විතරයි.
මේ ආණ්ඩුවට දැන් රට ගෙන යන්නට බැහැ. ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරල තිබෙනව. නමුත් ජනතාව දැන් විකල්පයක් සොයනව, කව්ද මේ රට බේර ගන්නෙ කියල. කව්ද රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නෙ කියල. මේ රටේ තිබෙන ප්‍රශ්ණවලට , ආර්ථික ප්‍රශ්ණවලට විසදුම් තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය තුලයි.
අද කවුරු මොන චෝදනා කළත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තමයි මේ රටේ ආර්ථික සැලැස්මක් තිබෙන්නෙ. හරි ආර්ථික කළමනකරණයක් කළ හැකි එකම දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය පමණයි. එතුමාට ඒ දැනුම සහ හැකියාව තිබෙනව. එක්සත් ජාතික පක්ෂයටත් ඒ දැනුම සහ හැකියාව තිබෙනව. අද ජාත්‍යන්තර වශයෙන් රටවල නායකයින්ට කතාකරල මේ රටට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් එකම පුද්ගලයා වන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය.
මේ නිසා රටේ ජනතාවට එකම විකල්පය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. අපි දැන් සිටම අපගේ ප්රතිසංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාම කළ යුතුයි. අපි අභියෝග රාශියකට මුහුණ දෙනව. අපෙන් කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ල තිබෙනව. සමහරක් කියනව මෙය එක්කර ගන්නයි කියල. මමත් හිතනවා හරි වෙලාවකට සියලු දෙනාම එකම වේදිකාවකට එකතු වෙයි කියල. නමුත් එකතු වෙනවාද කියා සිතමින් නොසිට අද රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි. මේ නිසා අපිම පක්ෂයක් ලෙස ශක්තිමත්වී ඉදිරියට එන්නට ඕනෙ.
අපිට සිටිනව හොද ශක්තිමත් සංවිධායක කණ්ඩායමක්. අපේ නායකතුමන් දැනුම් දී තිබෙන්නෙ හොද තරුණ ජවයක් තිබෙන මුහුණු ඉදිරිපත් කරන්නයි කියල. එයත් අපි කරන්න බලාපොරොත්තු වෙනව. අලුත් පිරිස් ගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කොට , ආසන මට්ටමින් කොට්ඨාස මට්ටමින් පක්ෂය යළි ගොඩ නැගීමට අපි සූදානම්ව සිටිනව. මෙම කටයුතු ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපි පටන් ගනිමු.
අපිට මේ පක්ෂය හදල ගන්න අවුරුද්දක කාලයක් තිබෙනව. අවුරුද්දක් වනවිට අපිට මැතිවරණයකට මුහුණ දෙන්න වෙයි. මේ ආණ්ඩුව තුලත් දැන් පිපිරීම් සිදුව තිබෙනව. සුසිල් ප්‍රේමජයන්ත මහතාව එලවල දාල තිබෙනව. සමහර ඇමතිවරුන් රජය තුල සිටිමින් ආණ්ඩුව විවේචනය කරන්න පටන්ගෙන තිබෙනව. ඒ ඇමතිවරුම කියනව දැන් ආණ්ඩුව ෆේල් කියල . දැන් මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නෙ ආණ්ඩුව තුල.
මේ නිසා අපි ශක්තියක් විය යුතුයි. අපි විකල්පයක් විය යුතුයි. ඒ නිසා සැවොම කොට්ඨාස මට්ටමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමට කටයුතු කළ යුතුව තිබෙනව. අපි යළි පක්ෂය සංවිධානය කොට ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුයි. "
තිලකරත්න දිසානායක
