කෝවිඞ් 19 වෛරසය ආසාදිත බව තහවුරුවූ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් අද අලූයම කෑගල්ල රඹුක්කන රෝහලට ඇතුළත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය අංශ පවසයි.
මේ අතර එම ආසාදිතයන් තිදෙනාගෙන් කෙනෙකු සමග සම්බන්ධකම් පැවැත්වු කුරුවිට පොලිස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහු සේවය කළ කුරුවිට පොලිසියේ පරිපාලන ශාඛාවේ පොලිස් නිලධාරීන් හය දෙනෙක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කළ බව කුරුවිට පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් රත්නායක මහතා පැවසුවේය.
පෑලියගොඩ මාලූ වෙළද මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් වන මෙම තිදෙනා කුරුවිට ප්‍රදේශ තුනක අය බවද සඳහන්ය.
ඔවුන් දින ගණනාවක් තිස්සේ සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර පීසීආර් පරීක්ෂණ සදහා සාම්පල් ලබාගෙන තිබුණි.
රත්නපුර මහ රෝහලේ කළ පීසීආර් පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කෝවිඞ් 19 ආසාදිත බව ඊයේ තහවුරු වී තිබුණි.
අනතුරුව ආසාදිතයන් තිදෙනා රඹුක්කන රෝහල වෙත ගෙන යනු ලැබූ අතර අද (29) එම තිදෙනාගේ පවුල්වල සාමාජිකයන් පීසීආර් සාම්පල් ලබාගැනීමට පියවර ගනු ලැබීය.
මෙම තිදෙනා නිරෝධායනයට ලක්කර තිබූ කාලයේ ඒ නිවෙස්වලට ආගිය සමීපතමයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ද තොරතුරු ලැබීමෙන් පසු ඔවුන්ගේ ද පීසීආර් සාම්පල ලබාගැනීමට කටයුතු කර කරන බවද සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කළ පසු නිවෙස්වල අයට නිවසින් බැහැරව නොවන ලෙසත්, පිටස්තරයින්ට නිරෝධායනයට ලක්කළ නිවසකට නොයන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.