ගමේ ජනතාවගේ නිෂ්පාදනයන් අපනයනය කිරීම තුළින් ගමේ ජනතාවට අතමිට සරු අනාගතයක් සැකසීම උදෙසා රජය දැනටමත් නව වැඩපිළිවෙලක් ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල හිරිපොකුණ හෙට්ටිපොළ අද(22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුව අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ගැමියා විසින් පවත්වාගෙන යන කර්මාන්ත නගාසිටුවා එම නිෂ්පාදන විදේශ විනිමය ලබා ගැනීමට හැකි අයුරින් අපනයනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය විසින් සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ යටතේ බිත්තර, කුකුල් මස්, එළවළු පලතුරු ආදි ගම්මාන වල නිෂ්පාදනය කෙරෙන ද්‍රව්‍ය ඉදිරි වසර පහ තුළ අපනයනය කිරීම සඳහා මාලදිවයින් රජය සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිතව තිබේ.
රටේ ජනතාවට බීමට පිරිසිදු ජලය ලබා දීම රජයේ වගකීමක් බවත් ඒ සඳහා වාරිමාර්ග යෝජනා ක්‍රම පිළිබඳව දැනටමත් අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැදුරු ඔයෙන් කලාප හතකට ජලය ගෙන ඒමේ වාරිමාර්ග යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙරටට කාපට් මාර්ග හඳුන්වා දෙනු ලැබූයේ තම රජයන් යටතේ බව සිහිපත් කල අග්‍රාමාත්‍යවරයා දැනටමත් රටේ විශාල වශයෙන් මහා මාර්ග සකස් කිරීමේ කටයුතු රජය විසින් ආරම්භ කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.
වර්තමානයේදී රජය ගන්නා සෑම තීරණයකටම විරුද්ධ වන පිරිසක් ඇතැයි පෙන්වාදුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම බලපෑම් වලට යටත් නොවී ගම්මාන මට්ටමෙන් සංවර්ධන කටයුතු ආරම්භ කිරීම මගින් රටම සංවර්ධන වැඩබිමක් බවට පත්කිරීමට පියවර ගන්නා බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල දිස්ත්‍රීක් අපේක්ෂක ගුණපාල රත්නසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
