රජය විසින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ගෙන තිබෙන වැඩපිළිවෙල යටතේ නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.
මගී ජනතාවගේ ආරක්ෂාව උදෙසා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදි තිබේ.
ඒ අනුව දැනට ආසන ගණනට පමණක් මගීන් ඇතුළත් කර ගැනීම මෙන්ම දුම්රියේ මගීන් ගමන් කරන විට මීටරයක් පමණ දුරක් තබාගෙන එකිනෙකා ගමන් කිරීම හා සියලුම දුම්රිය හා බස් රථ නැවතුම් පොළවල අත් සෝදා ගැනීමේ පහසුකම් ස්ථාපිත කිරීම වැනි පියවර රැසක් ගෙන තිබේ. මේ හැර කොරෝනා වෛරසය පිළිබඳ මගී ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත.
මෙම කටයුතු නිවැරදිව සිදු කෙරෙනවාද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (17 ) පිටකොටුව පුද්ගලික බස් රථ නැවතුම් පොළ හා කොළඹ දුම්රිය ස්ථානය නිරීක්ෂණය කළේය.
බස් රථවලට හා දුම්රියට ඇතුල්වන විට මෙන්ම ඉන් පිටවන විට ද තම දෑත් හොඳින් පිරිසිදු කර ගන්නා ලෙසත්, සෞඛ්‍ය අංශය විසින් සපයා ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒමෙන්ම අතරමග දී බස් රථවලට ගොඩවන මගීන් සඳහා බස් රථ හා දුම්රියේ දී දැත් විෂබීජානුහරණය සඳහා විෂබීජ නාශක තබා ගන්නා ලෙස බස් රථ රියදුරන්ට උපදේ ලබා දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබේ.
කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජය විසින් සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බැවින් ඇතැම් කටකතා හා සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් අසත්‍ය තොරතුරුවලට නොරැවටී කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
