අනීෂා මානගේ
කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසයි.
තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසූයේ අද(26) බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී පැවැති සමඟි ජනබලවේගයේ ජනහමුවකට සහභාගී වෙමිනි.
තිස්ස අත්තනායක මහතා මෙසේද පැවසුවේය.
එල්ටීටීඊ සංවිධානයේ නියෝජ්‍ය නායකයා සහ මඩකළපුවේ අණදෙන නිලධාරියා වශයෙන් හිටපු පසුකාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙලා හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දැරූ පක්ෂයේ දෙවරක් ජාතික ලයිස්තුවට පත්කළ කරුණා අම්මාන් පසුගියදා ප්‍රකාශයක් කළා. මිනීමැරුම් ගැන පාපොච්චාරණය කරන අපේ සොල්දාදුවන් මරල දැම්මා කියලා කටමැත දොඩවන කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි.
ඒ පිළිබඳව මතු වුණ ජනතා විරෝධය නිසා ආණ්ඩුව දැන් කටඋත්තර ගන්න එන්න කියල තිබුණා. එහෙම එන්න කියනකොටත් චන්ඩි කතාවක් කියල තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔලුව නමන්නේ නැතුව බල කරපු නිසා කටඋත්තරයක් දීල තිබෙනවා කියල ආරංචියි. අපේ හමුදාව මොකටද වැඩ කළේ. අපේ හමුදාව වැඩ කළේ ජනතාව ආරක්ෂා කරන්නයි. යුධ අවස්ථාවේදී හමුදාවටත් චෝදනා එල්ල වුණා. මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් සංවිධාන ජාත්‍යන්තර වශයෙන් හමුදාවට ඇඟිල්ල දික් කළා. හැබැයි එහෙම දික් කළ ඇඟිල්ල ඇයි කරුණා අම්මාන්ට දික් වෙන්නේ නැත්තේ. ඇයි ඒ අය චෝදනා කරන්නෙ නැත්තේ. ඒ ඔක්කොම නිහඩයි. මේ රටේ නීතිය සාධාරණත්වය හැමෝටම තියන්න ඕනෑ යැයිද පවසා සිටියේය.
