සෞඛ්‍ය සේවකයන් 09දෙනකු ආසාදිත වීම හේතුවෙන් කරාපිටිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සකස්කර ඇති විශේෂ ප්‍රතිකාර ඒකකය (HDU) තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
මෙලෙස කොරෝනා ආසාදිත වී ඇත්තේ එහි සේවය කළ හෙදියන් 07 දෙනකුට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට ය.
මේ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජික පිරිසක් ද කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
ජුනි මස 18 වැනි දා මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය ආරම්භ කර තිබිණි.
රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එම ඒකකයේ සිටි කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගේ කලහකාරී හැසිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැකයක් පවතින බවයි.
එම ආසාදිතයන් දෙදෙනා කෑ කෝ ගසමින් ඉතා ප්රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් පාලනය කිරීමට උත්සාහ දැරූ හෙදියන්ගේ සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට පහර දී මුහුණු ආවරණ සහ මුඛ ආවරණ පවා ඉවත්කිරීමට රෝගීන් දෙදෙනා කටයුතු කළ බව කාර්ය මණ්ඩලය චෝදනා කරයි.
මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු සෞඛ්‍ය සේවකයින් නව දෙනා වී ඇත. ඔවුන්ගෙන් එක් හෙදියකගේ දරුවන් දෙදෙනා, මව හා පියා ද ආසාදනය වී සිටිති. තවත් ආසාදිත හෙදියකගේ සැමියා සහ මව ආසාදිත බව මේ වනවිට හඳුනාගෙන තිබේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ආසාදනය වූ හෙදියන් 06 දෙනකුට ම කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා දෙක ලබා දී තිබූ බවයි.
බිළිඳු දරුවකුට මව්කිරි දෙන බැවින් කොරෝනා එන්නත මුල් අවස්ථාවේ ලබානොගෙන සති කිහිපයකට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබාගත් හෙදියක් ද ආසාදිත අය අතර සිටියි.
රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. එම සෞඛ්‍ය සේවකයන්ට කොරෝන ආසාදනය වීමට හේතුව රෝගීන් දෙදෙනාගේ හැසිරීම පමණක් ද නැතිනම් වෙනත් හේතුවක් බලපා ඇත්ද යන්න සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.
සිරංගිකා ලොකුකරවිට