හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා ඊයේ (24) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
කරන්දෙණියෙන් බිහිවූ පළමු හා එකම කැබිනට් අමාත්‍යවරයා වන්නේද ගුණරත්න වීරකෝන් මහතාය. දෙදරු පියෙකු වන ගුණරත්න වීරකෝන් මහතා මිය යනවිට ඒ මහතා හැතෑහතර වියේ පසු විය.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූ ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද වසර ගනනාවක්ම සේවය කල අයෙකි.
කරන්දෙණියේ වත්මන් දියුණුවේ නියමුවා ලෙසද ගුණරත්න මහතා ගේ නාමය කරන්දෙණිය ඉතිහාස පොතේ ලියවී තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ප්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. ඊට පෙර හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග රජයේ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ගුණරත්න වීරකෝන් මහතා කටයුතු කර තිබේ.
හිටපු ජනපති මෛත්‍රීපාල රජයේ උපදේශකවරයෙකු කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා ඉන් පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටයුතු කළේය.
අවසානයේදී ගුණරත්න වීරකෝන් මහතා දේශපාලනයෙන් මෙන්ම කරන්දෙණියෙන්ද ඉවත්වී කොළඹ ප්‍රදේශයේ පදිංචියට ගියේය. සතියක කාලයක් රෝගාතුරව සිටි ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (24) රාත්රියේදී මිය ගියේය.
ගුණරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සදහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (26) පස්වරුවේදී බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත
