මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් දහතුන් (13) දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
ඉංගිරිය සිට කතරගම ප්‍රදේශයේ චාරිකාවක් සඳහා ගොස් සිටි අතරතුර එම පුද්ගලයින් නවාතැන්ගත් ස්ථානයකට කොරෝනා ආසාදිත පුද්ගලයෙකු පැමිණ ඇති බවට තහවුරු කරගත් තොරතුරු මත ඉංගිරිය, ඉමගිර ප්‍රදේශයේ නිවෙස් දෙකක සාමාජිකයින් පිරිසක් සහ කොරෝනා ආසාදිතයෙකු පැමිණ ගිය බවට තහවුරු වූ හොරණ නගරයේ ආපන ශාලාවක සේවය කළ රත්මල්ගොඩ ප්‍රදේශයේ මුදල් අයකැමිවරයෙකු ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මෙම ස්ථාන දෙකටම පැමිණ ඇති කොරෝනා ආසාදිතයින් දෙදෙනාම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ යුධ හමුදා සාමාජිකයින් බවට තහවුරුව ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.
මින් කොරෝනා ආසාදිත එක් යුද හමුදා නිලධාරියෙකු සිය බිරිඳද සමඟ පැමිණ ආහාර ලබාගත් හොරණ නගරයේ ආපනශාලාව මේ වනවිට විෂබීජහරණයට ලක්කර වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර, එහි සේවය කළ අඟුරුවාතොට ප්‍රදේශයේ තවත් අයෙකු ඇතුළු එම පවුල් වල සාමාජිකයින්ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
හොරණ නගරයේ මෙම ආපනශාලාවට පැමිණි හමුදා නිලධාරියා සිය බිරිඳද සමඟින් හොරණ සිට ඉංගිරිය හරහා රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ගමන්කර ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් ඒ සඳහා යොදාගත් ප්‍රවාහන සේවා සහ ඒවායේ ගමන්ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉංගිරිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ඉංගිරිය පොලීසිය එක්ව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.
නිමාලි කහවල
