පාර්ලිමේන්තුවේ ඇතිවූ ප්රශ්නය සම්බන්දයෙන් පක්ෂනායක රැස්වීමේදී කථානායකවරයා ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විකල්ප පාර්ලිමේන්තුව යන තේමාව යටතේ අද (06දා) ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
අපි දන්නවා ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ පාර්ලිමේන්තුව. ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණය තමයි තෝරාපත් කරන මන්ත්‍රීවරු තමන්ගේ ප්රජාතන්ත්රවාදී අදහස් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම. අද මේ ආණ්ඩුව කඩා වැටීගෙන යන්නේ. එක පැත්තකින් ගොවියාගේ ගොවිතැන නැති වෙලා. අද නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය. අද මේ රටේ වඩු කාර්මිකයා, මේසන් කාර්මිකයා, පුහුණු කාර්මිකයාගේ රස්සාව නැති වෙලා. මේ දේවල් අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපිට මතකයි සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය තිබුනේ. මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එදා කතා කළා මේ රටේ ජාතික ආරක්ෂාව ගැන. විපක්ෂයේ අපි මේ කටයුත්ත කරද්දි කථානායකවරයා කථාන අවසන් කරන්න එතුමාට දුන්නේ නෑ. පාර්ලිමේන්තු සම්ප්රදාය තමයි කතාවක් පටන් ගත්තට පස්සේ කතාව අවසන් කරන්න දෙන එක. අපි විපක්ෂය විදියට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමට අපේ අනුමැතිය ලබා දුන්නා. එහිදී අපි ඉල්ලුවේ විනාඩි 05යි. කථානායක දෙන්න ලෑස්ති වන විට එහා පැත්තෙන් ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා දෙන්න එපා කියලා. ඒක නැගිටලා ප්‍රසිද්දියේ කිව්වා. කථානායක ඒක නතර කළා. මේ විදියට තමයි පාර්ලිමේන්තුව පාලනය වෙන්නේ.
මන්ත්‍රීවරයෙකුගේ අයිතිය තමයි මනූෂ නානායක්කාර මහතා එදා ක්‍රියාත්මක කළේ. කථානායකවරයා ලගට ගිහින් ඒ පැමිණිල්ල ඉදිරිපත් කළා. අද ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න වලට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හඬට උත්තර දෙන්න බැරි වුනාම අද මැර බලයෙන් තර්ජනය කරන්න යනවා. අද උදේ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැදවලා තිබුනා. විපක්ෂානයකවරයා ඇතුලු අපි ගියා. කථානායකවරයා කරුණු ඉදිරිපත් කළා. අපි කථානායකට කිව්වා තමුන්නාන්සේගේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා පක්ෂපාතීත්වය කියලා. ඇතුලේ කතා කරපු එකක් කතා කළේ. මේ කතානායකවරයා පක්ෂපාති ආණ්ඩුව ගැන විතරක් හිතන, ආණ්ඩුවට විතරක් තීන්දු දෙන කතානායකවරයෙක්. අපි කතානායකවරයා විරුද්දයි කියලා කිව්වා. ඒ නිසා අපි කිව්වා පාර්ලිමේන්තුව වර්ජනය කරනවා කියලා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතෙක් අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්න තීන්දු කළා. අපිට ඔ්නි වෙලාවට අපි යනවා. නමුත් ලෝකයටයි රටටයි කියන්න ඔ්නී අද පාර්ලිමේන්තුවේ තිබෙන ප්රජාතන්ත්රවාදය ගැන. යනුවෙන්ද සඳහන් කළේය.