එළිමහන් ප්‍රසංග සඳහා මේ වන තෙක් කිසිදු අවසරයක් ලබාදී නොමැති බැවින් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඒ පිළිබඳ ඉල්ලීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා පැවැති සංගීත ප්‍රසංග පිළිබඳ හා ඊට සහභාගි වූ පිරිස් හැසිරුන ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
"රට සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබුණත් නිරෝධායන අඥා පනතේ නීති රෙගුලාසිවලට යටත්වයි සියලු කටයුතු සිදු වෙන්නෙ. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ 2021-12-31 දිනැති මාර්ගෝපදේශ අනුව එළිමහන් සංදර්ශනයන් සඳහා කිසිදු අවසරයන් ලබා දී නැහැ.
ඒ නිසා සංගීත ප්‍රසංග සඳහා නිර්දේශ ලබා ගන්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට එන්න එපා. දැනට පවත්නා නිරෝධායන නීති අනුව අවසර ලබාදීමේ හැකියාවක් නැහැ. එමෙන්ම යම් කිසිවෙක් එසේ අනවසරයෙන් ප්‍රසංග පවත්වනවා නම් නිරෝධායන ආඥා පනත උල්ලංඝනය කිරීමක් වෙනවා.
ඔමික්‍රෝන් ආදී කෝවිඩ් ප්‍රබේද ගණනාවක් පැතිර යමින් තිබෙන අවස්ථාවක රටේ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට හැරෙන තුරු ප්‍රසංග සඳහා අවසර දීමට නීතිමය හැකියාවක් නැහැ.
දැනට රට සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබුණත් කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය අධ්යක්ෂවරයා කලින් කලට නිකුත් කරන මාර්ගෝපදේශ අනුවයි. එම මාර්ගෝපදේශ නිරෝධායන ආඥා පනත අනුව නීති බවට පත් වෙනවා. එම නිසා එවැනි දේවල් කරන සෑම අවස්ථාවකම එම නිර්දේශ අනුව කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය අධ්යක්ෂවරයා මේ වනතෙක් එවැනි මාර්ගෝපදේශයන්, නිර්දේශයන් නිකුත් කර නොමැති නිසා අපිට ඒ සඳහා අවසර ලබාදීමේ හැකියාවක් නැහැ" යැයි පවසා සිටියේය.
කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර