මට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එම පැමිණිල්ල අද (01) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන මට්ටක්කුලිය පොලීසිය විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් අතුරින් බොහෝ දෙනෙකු යූද හමුදා බුද්ධි අංශ නිලධාරීන් බවත් ඔවුන් මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් පැවසීය.
එම බන්ධනාගාරය තුළ එල්ටීටීඊ සැකකරුවන් ද රඳවා සිටින හෙයින් සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ, එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ බුද්ධි අංශ රාජකාරියක් ඉෂ්ට කිරීමට ගොස් නොවන බවත් තමා ඉදිරියේ පවතින්නේ පුද්ගලයකු ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධමය නඩුවක් බව සඳහන් කළේය.
ඒ අනුව සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පැවසු මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට යම් තර්ජනයක් තිබේ නම් ඊට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට බන්ධනාගාර අධිකාරිවරයාට කිසිදු බාධාවක් නොමැති බවත් සඳහන් කර සිටියාය.
අනතුරුව සැකකරුවන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම වුණි.