දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවේ පැවසීය .
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු රණතුංග මහතා ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමට අද (30) සවස මහනුවරට පැමිණියේය .
“නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක් මාගේ නැහැ. පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව ඉදිමින් රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා .
අද මෙරට පවතින දේශපාලනයෙන් රටට යහපතක් සිදුවී නැහැ. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි. අපි ගොඩනඟන්න උත්සාහ කරන්නේ එයයි. ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කීපයක් සමග මා සාකච්ඡා කොට තිබෙනවා .
මා එක්සත් ජාතික පක්ෂ පෙරමුණෙන් 2015 ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු ගියා. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් මට බාර දුන්නා. ඒවා ලාභ ලබන තත්ත්වයට මම ගෙන ආවා. රටේ දේපොළ විකුණන්න යද්දී ඒවා බේරගත්තා. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමෙන් පසු සැවොම එකට තියාගන්න මම ලොකු උත්සාහයක් ගත්තා.
ඒ වෙලාවේ හැමෝම එකට හිටියනම් මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාවට අවශ්‍ය දේ සිද්ධ වුණු නිසා මම වසර දෙකක් දේශපාලනයෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු කළා. ආණ්ඩුව පත් වෙලා වසර දෙකක් යන විට රටේ ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙනවා. මේවා කොරෝනා නිසා ඇති වුණා කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයේ සිටීම පක්ෂයට වගේ මටත් වැඩක් නැහැ කියලා හිතුණු නිසයි මම අයින් වුණේ.
එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් ඇති කරන්න මම නායකතුමා සමඟත් කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟත් සාකච්ඡා කළා. අවාසනාවකට ඒ දේවල් සිද්ධ වුණේ නෑ . පක්ෂ දේශපාලනයට මම කැමති නෑ . පසුගිය මහ මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් සමග එකතු වුණානම් මට පහසුවෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා . නමුත් අද මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය නොකිරීම ගැන .
තමන් ගැන නොසිතා රටට ආදරය කරන වංචාව දූෂණය පිටු දකින කණ්ඩායමක් මේ රටේ පාලනයට අවශ්‍යයි . අපි කටයුතු කරමින් සිටින්නේ එවැනි පිරිසක් ඒකරාශි කිරීමට යැයි ද පැවසීය.