ඌව පළාත් සභාවේ නිල කාලය අද (08දා) දිනයේදී අවසන් වන බවත්, මේ අනුව පළාත් සභා නවයේම පාලන බලය නිලධාරීන් යටතට පත්වන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.
ප්රජාතන්ත්රවාදී රටක් ලෙසට මෙය අනුමත නොකරන බවත්, පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් ගැන හෝ සඳහනක් නොමැති බවත් එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
2017 වසරේ සැප්තැම්බර් 26 වැනිදා සබරගමුව පළාත් සභාවේත්, සැප්තැම්බර් 30 වැනිදා නැගෙනහිර පළාත් සභාවේත්, ඔක්තෝබර් 01 වැනිදා උතුරු මැද පළාත් සභාවේත් නිල කාලය අවසන් වූ බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මීට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් 08 වැනිදා මධ්‍යම පළාත් සභාවේත්, ඔක්තෝබර් 10 වැනිදා වයඹ පළාත් සභාවේත්, ඔක්තෝබර් 24 වැනිදා උතුරු පළාත් සභාවේත් නිල කාලය අවසන් වූ බවත්, මේ වසරේ අප්‍රේල් 10 වැනිදා දකුණු පළාත් සභාවේත්, අප්‍රේල් 21 වැනිදා බස්නාහිර පළාත් සභාවේත් නිල කාලය අවසන් වූ බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජයේ ඇති අකමැත්ත ජනතාවට තහවුරු වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
රටේ නායකයා තෝරා පත් කරගන්නා සමයක පළාත් සභා පාලන නිලධාරීන් යටතට පත්වීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය ඇති කරනු ලැබුවේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය වෙනුවෙන් බවත්, එහෙත් මැතිවරණය කල්දැමීම තුළින් එම අයිතිය උල්ලංඝනය වන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
