උතුරේ ස්වේච්ඡා සේවයේ යෙදී මෙතෙක් පත්වීම් නොලැබුණු ගුරුවරුන් වෙනුවෙන් සාධාරණය
පශ්චාත් යුද සමයෙහි උතුරු පළාතේ පාසල්වල පැවති ගුරු හිඟයට පිළියමක් සපයමින් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කාර්යයෙහි යෙදුණු ගුරුවරුන්ට පත්වීම් ලබාදීම වාර කිහිපයක දී අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගනිමින් ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව මේ වනවිටත් නියමිත සුදුසුකම් සම්පූර්ණ කරන ලද ස්වේච්ඡා ගුරුවරුන් 1,161 දෙනෙකුට ගුරු පත්වීම් ලබා දි ඇත.
එහෙත් තමන්ට එම අවස්ථාවන්හි දී සාධාරණය ඉටු නොවුණු බව සඳහන් කරමින් අද (27) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදි උතුරු පළාතේ ස්වේච්ඡාවෙන් ඉගැන්වීමෙහි යෙදුණු ගුරුවරුන් 37 දෙනෙකු විරෝධතාවයක යෙදි සිටියහ.
මෙම ස්වේච්ඡා ගුරුවරුන්ට මින් පෙර පත්වීම් ලබාදෙන ලද අවස්ථාවන්හි දී සාධාරණය ඉටු නොවීමට බලපා ඇති හේතූන් සම්බන්ධව මෙහිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ කරුණු විමසීමේ දී ඔවුන් සඳහන් කළේ, අසනීප, දරු ප්‍රසූති, හදිසි අනතුරු වැනි විවිධ පෞද්ගලික හේතූන් මත ඔවුන්ට එම අවස්ථා මගහැරී ගොස් ඇති බවයි.
මෙම විරෝධතාවට එක්ව සිටි අයවලුන්ගෙන් නියෝජිත කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට කැඳවා මේ සම්බන්ධ ව සාකච්ඡා කරන ලද අතර, මෙම ස්වේච්ඡා සේවයෙහි යෙදුණු ගුරුවරුන්ට මෙතෙක් පත්වීම් ලබාදීමේදි කිසියම් අසාධාරණයක් සිදුව ඇත්නම්, ඒ පිළිබඳ කරුණු සොයා බලා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේද මැදිහත්විම ඇතිව සාධාරණය ඉටු කිරිමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය එම පිරිස් වෙත දැනුම් දෙන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

