ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට කලබල වීමට අවශ්‍ය නොමැති බවත් හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි .
අද (01) ඒ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
ලෝකයේ රටවල් කොවිඩ් වලින් බැට කෑවත් අපේ රටට හැමදා විවිධ ප්‍රශ්න එනවා . ඉදිරියේ දී රටට වන විපත්ති වලදී මට පුළුවන් ආකාරයට මගේ දැනුම අනුව දායකත්වය ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා .
දේශපාලනයේදී ජාතීන් අතර පක්ෂ අතර ආගම් අතර බෙදීම් ඇති කර නොගත යුතුයි අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ බෞද්ධ රටේ සියලු දෙනා එකතු වී වැඩ කරන ක්‍රමයක් ඇති කරන ගමන් අප සියලු දෙනා එකතු වී හොරකම, දූෂණය, මර්දනය කිරීමට තරුණ පිරිස් ඉදිරියට ආවොත් මේ රට වෙනස්ම ගමනකට ගෙන යා හැකියි .
පළමුවෙන් උඩම කෙනා හොරකම නැවැත්විය යුතුයි . එවිට පහල හොරකම් සිදුවන්නේ නැහැ . එම ක්‍රමය ඉදිරියේදී ඇතිවිය යුතුයි . හොරකම් කරන්නේ නැති ඩීල්කාරයින් ඇති කණ්ඩායමක් එකතු වුවහොත් පක්ෂ දේශපාලනයෙන් තොරව එකතු වුවහොත් රට ගොඩනැඟිය හැකියි .
ගෑස් සිලින්ඩර වල රසායනික ප්‍රතිශතය වෙනස් කිරීමට පෙර එයින් සිදුවන හානිය පිළිබඳව පළමුව සොයා බලන්න තිබුණා . අද වන විට මේ මෙරට මුදලටම යට වූ රටක් බවට පත්ව තිබෙනවා . මුදල මූලික කරගෙන මිනිස් කම සංස්කෘතිය නැති කරගෙන තිබෙනවා . එය ක්‍රීඩාවේ වගේම රටේත් සිද්ධ වෙනවා . එය අවාසනාවන්ත දෙයක් . නමුත් අපේ රට වාසනාවන්ත රටක් . අපි හැමෝම හරි විදිහට එක් රට ගොඩ නැගිය හැකි යි .
ඉම්රාන් ඛාන් කියන්නේ කියපු දේ කරන නායකයෙක් . එවැනි නායකයන් ලෝක දේශපාලනයේ හරිම අඩුයි . මම පක්ෂ දේශපාලනයට අකැමැති අයෙක් . මම මගෙම ව්‍යාපාර කරගෙන ජීවත්වෙනවා . මට හොරකම් කරන්න අවශ්‍ය නැහැ . රටට මා අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඒසදහා ඉදිරිපත් වෙනවා .
අපේ රටේ හැම දේකටම අවශ්‍ය දක්ෂ පුද්ගලයන් ඉන්නවා . නමුත් ඒ අය පැත්තකට කරලායි තියෙන්නේ . මේ කාලය තුළ ඒ අයට එම අවස්ථාව ලැබෙන එකක් නැහැ . නමුත් ඉදිරියේදී ඒ අයට එම අවස්ථාව දුනහොත් ආර්ථිකය, ක්‍රීඩාව ඇතුළු සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි .
මේ රජය බලයට පත්වුණේ බොරු කියලා . ආගම, ජාතිය, ඉස්සරහට තියලා ඒ කරපු විනාශයේ ප්‍රතිපලයි මේ පේන්න තිබෙන්නේ . ඉදිරිඡන්දයේදී තවත් තරුණ ඡන්ද ලක්ෂ 08 ක් 09 ක් අතර ප්‍රමාණයක් එකතු වෙනවා . ඒ අයට බොරු කියලා ඡන්ද ගන්න ලැබෙන්නේ නැහැ යැයි ද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න