මෙරට පවතින ආක්රමණකාරී ශාක වර්ග 07ක්
01) වෙල් ආතා/වල් අනෝදා (Annona glabra)
පත්‍ර ඉලිප්සාකාර හෝ අණ්ඩාකාරය වන අතර, එහි කෙළවර තීව්ර වේ. පත්‍ර යුගල් 8-12ක් පමණ පවතී.
ළපටි ශාක මත බූව සහිතය. පුෂ්ප තනි තනිව හටගනී. පිට ආවරණය කහ පැහැති වන අතර, ඇතුළත රතු පැහැතිය. පත්‍ර 06කින් සමන්විතය. බීජ රතු දුඹුරු පැහැතිය.
02) මහෝගනී (Swietenia macrophylla)
පත්‍ර පක්ෂවත් වන අතර, යුගල් ලෙස පිහිටයි. දිගැටි හැඩයක් ගනී. පත්‍ර මූලය අසමාන හැඩයක් ගනී. කඳ ලා දුඹුරු පැහැතිය.
පුෂ්ප කොළ-කහ පැහැයක් ගන්නා අතර, සංයුක්ත ඒකාක්ෂ පුෂ්ප මංජරියක පිහිටයි. ඵලය බිත්තරයක හැඩයක් ගනී. බීජ සුළං මගින් ව්‍යාප්ත වේ. එහෙත් මෙම ශාකය දැව වටිනාකමින් ඉහළය.
03) හවරි නුග (Alstonia macrophylla)
පත්‍ර 03ක් හෝ 04ක් පමණ වලයාකාරව පිහිටයි. පත්‍ර පාදය කීලාකාරය. පත්‍ර අග තීව්ර වේ. පාර්ශ්වික නාරටි වින්‍යාසය පවතින පත්‍ර ඇති අතර, ළපටි පත්‍ර යටි පැත්තේ සියුම් බූවක් පවතී.
ශාකයේ පොත්ත සිනිඳුය. ලා දුඹුරු සිට අළු පැහැයක් ගනී. පුෂ්පය සුදු පැහැතිය. ඵලය වරාවකි. මෙය මෝරන විට සිනිඳු තත්ත්වයට පත්වේ.
04) ජපන් ජබර (Eichhornia crassipes)
රෛසෝමය ධාවකයක් ලෙස හෝ ජලයේ පාවෙමින් පවතී. එයින් පත්‍ර හා මුල් නිකුත් වේ. පත්‍ර තලය ඕවලාකාර වේ. ශාකය පාවෙමින් පවතින විට පත්‍ර නටුව ඉදිමී ආශයක් බවට පත්වේ.
මෙය ස්පොන්ච් ආකාරයක් ගන්නා අතර, ශාකය පාවීමට උපකාරී වේ. ජල මට්ටම අඩුවන විට හෝ පැළෑටි මඩ මත සම්බන්ධ වූ විට දිගටි හා සිහින් තත්ත්වයට පත්වේ. පුෂ්ප දම් හා කහ පැහැයෙන් යුක්තය.
05) යෝධ නිදිකුම්බා (Miimosa pigra)
විවෘත තෙත් පාරිසරික තත්ත්ව යටතේ මීටර් 06ක් තරම් උසට වැඩේ. කඳෙහි මිලිමීටර් 07ක් පමණ උස තුණ්ඩ පිහිටා ඇති අතර, තුණ්ඩ පාදය තරමක් පුළුල්ය. පත්‍ර ස්පර්ශයට සංවේදී වන අතර, ද්වි පක්ෂවත්ය.
පත්‍රිකාවක එක් පක්ෂයක කුඩා පත්‍ර යුගල් 20ත්, 42ත් අතර ප්‍රමාණයක් පිහිටයි. කරල් පොකුරට හටගනී. එක් පොකුරක 07ක් පමණ පවතී. දුඹුරු පැහැති කෙඳිවලින් ඒවා ආවරණය වී තිබේ.
06) කටකළු බෝවිටිය (Clidemia hirta)
පඳුරු ශාකයකි. මුළු ශාකයම සියුම් රතු පැහැති බූවකින් ආවරණය වී ඇත. පත්‍ර සම්මුඛය. ඉලිප්සාකාර හැඩයක් ගනී.
කෙළවර තුණ්ඩාකාරය. ප්‍රධාන නාරටි 05ක් පත්‍රය හරහා ගමන් කරයි. පත්‍රය මතුපිට දිළිසෙන කොළ පැහැතිය. ඵලය කුඩා වටකුරු හැඩයක් ගනී.
07) හිඟුරු (Lantana camara)
පැතිරී වැඩෙන පඳුරකි. සියුම් තුණ්ඩ සහිතය. අප්‍රසන්න ගන්ධයකින් යුක්තයි. පත්‍ර සම්මුඛයි. සාමාන්‍යයෙන් ඕවලාකාරය. පත්‍ර දාරය දන්තාකාරය.
පුෂ්ප ඉහළින් පැතිලිව පිහිටයි. වර්ණය විවිධ විය හැකිය. පුෂ්ප සංවෘතය. දළ පත්‍ර කෙටි වන අතර, වටුකුරුය. ඵලය කුඩා ගෝලාකාර වන අතර, පොකුරක කිහිපයක් හටගනී.
චතුරංග ආරියසේන
තොරතුරු - ජෛව විවිධත්ව අංශය, වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
