ඉන්දීය පොලීසිය හෙළිකරගත් වකුගඩු ජාවාරමට ශ්‍රී ලාංකීය වෛද්‍යරුන් සම්බන්ධ බව පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෛද්‍ය සභාව හරහා ඔවුන් වෛද්‍ය වෘත්තියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රජයේ රෝහල්වලින් විදේශිකයන්ට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම තාවකාලිකව තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත්කළ බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 06 දෙනෙකු හා මෙරට ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක් සම්බන්ධ තොරතුරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති බවත්, එහි පිටපතක් වහාම ලබාගන්නා ලෙස තමා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට පැවසූ බවත් අමාත්‍යවරයා කීය.
එමෙන්ම මේ පිළිබඳ සොයාබලා සත්‍ය වාර්තාවක් සැපයීමට තමා කමිටුවක් පත්කළ අතර, සතියක් ඇතුළත එම වාර්තාව ලබාදෙන්නැයි අදාළ නිලධාරීන්ට දැනුම්දුන් බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ වකුගඩු ජාවාරමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 06 දෙනෙකු හා මෙරට ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක්ද සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය ෙපරේදා (20දා)කළ අනාවරණයකට අනුව මෙම පියවර ගත් බවත්, කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවහිරතාවකින් තොරව දිවයින පුරා පිහිටි ඕනෑම රජයේ හා පෞද්ගලික රෝහලකින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරවාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සුරේෂ් ප්‍රජාපතී නම් පුද්ගලයා ඉන්දීය ජාතිකයන්ගේ වකුගඩු 60 ක් පමණ එකක් ඉන්දීය රුපියල් ලක්ෂ 30 බැගින් විකුණා ඇතැයිද, එහෙත් වකුගඩු ප්රදානය කළ පුද්ගලයාට දී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 05 ක් පමණක් යැයිද හෙළි වී තිබේ. වකුගඩු ලැබූ අයද, පරිත්‍යාග කළ අයද ඉන්දීය ජාතිකයන් බව කී ඇමතිවරයා ලාංකේය වෛද්‍යවරුන්ගේ නම් ඉන්දීය මාධ්‍යයේ පළ වී ඇති බවද කීවේය.
වකුගඩු ජාවාරමේ ප්‍රමුඛයා ඔහුගේ නියෝජිතයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 445 ක් ගෙවා ඇති බවට තොරතුරු ඇතැයිද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
චාමර සම්පත්/නාලිකා රාජපක්ෂ