පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුලත් කොළය ලකුණින් තරග කළහොත් ඒ සඳහා සහාය දැක්වීමට සූදානම් බවට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (20දා) පැවසීය.
පක්ෂයේ සභාපාතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, පක්ෂයේ අනුශාසකවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරි ගමනක් යා යුතු යැයි ස්ථාවරයේ සිටින බවත්, එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බිම් මට්ටමේ පාක්ෂිකයා බලාපොරොත්තු වන ජයග්‍රහණය ලැබීමට හැකියාව ලැබෙනු ඇති බවත් දිසානායක මහතා කීය.
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිලිහුණු ලක්ෂ 07 ක් වූ පාක්ෂිකයන් පිරිස සහ මුස්ලිම්, කතෝලික ඡන්ද ආකර්ෂණය කරගැනීම කෙරෙහි මෙවර ප්‍රධාන අවදානයක් යොමුවන බවත්, දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර බලයක් හිමි සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගෙන් බහුතරයක් දෙනා ඒ සඳහා කැපවන බවට දන්වා ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍ය ඉදිරියට පැමිණ පක්ෂයේ යම් යම් පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළද රහසිගතව ඊට හාත්පසින්ම වෙනස් දේශපාලනයක් තිබෙන බවයි.
"කවදාවත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදුන්න අතට හා පුටුවට පමණක් ඡන්දෙ දුන්නු ඡන්ද ලක්ෂ හතක් පසුගිය ජනාධිපතිවරණයේදී අපෙන් ගිලිහී ගියා. ඒ වගේම අපට හැමදාම මුස්ලිම් ඡන්ද 15% ක් විතර තිබුණා. ඒක 4% ට බැස්සා. නගරයේ ඡන්ද 35% ක් තිබිලා ඒක 20% ට බැස්සා.
කතෝලික ඡන්ද 40% ක් තිබිලා 20% ට බැස්සා. ඒවා නැවත වෙනස් වෙලා අපට ශක්තිමත් ලෙස, මිත්රශීලීව ආකර්ෂණය කරගනිමින්, සියල්ල රැකගනිමින් අපේ අනන්‍යතාව රැකගනිමින් ගමනක් යා යුතුයි.
පක්ෂය ඇතුළෙත්, පක්ෂයෙන් පිටතත් අනෙක් පක්ෂවලත් මේ පක්ෂෙ කඩන්න ඕන කියන පිරිස් ඉන්නවා. සමහර අය කරන ප්‍රකාශවලින් ඒක පේනවා. ඒ සියලු දෙනාත් එකතු කරගන්නයි අපි බලන්නේ.
සන්ධානයක් හැටියට තරග කරද්දි ලබන සැරේ තීරණාත්මකයි. අපි කොට්ඨාස ක්‍රමයටයි යන්නේ. කොට්ඨාසය කාටද දෙන්නෙ කියන ගැටලුව පැනනගිනවා. පුංචි පුංචි කණ්ඩායම්වලට කොට්ඨාසය වෙන්කරලා දෙන්න ඕන. ඒ අයට පහුගිය කාලයේ කොට්ඨාස දුන්නෙ අපේ සංවිධායකවරයෙක් ඉන්නකොටයි. ඉදිරියේදි එහෙම කරන්න බැහැ. එම සංකීර්ණ ප්රශ්නය විසඳගෙන යන්න වෙනවා.
මාධ්‍යවලින් පේනවට වඩා දේශපාලනික වශයෙන් ලොකු වැඩ කොටසක් අපි කරනවා. මාධ්‍යයෙන් වසන් වී අපි කරන දේශපාලනයක් තියෙනවා. ඒකෙ හරය වශයෙන් අපි සියලු දෙනාට ඕන කරන්නෙ අපේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරි ගමනක් යෑමටයි" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.