මහරගම පිළිකා රෝහලට විශාල අඩුවක්ව පවතින පෙට් ස්කෑනරයක් මිලදී ගැනීම සඳහා කඩීජා පදනමේ මූලිකත්වයෙන් ඇරඹි රුපියල් කෝටි 20 ක් සොයා ගැනීමේ මෙහෙයුම ඊයේ (13දා) සිය ඉලක්කය කරා ළඟා විය. මෙරට ඉතිහාසයේ සාමාන්‍ය ජනතාව එක්වී ඉතා කෙටි කාලයක් තුළ එක් රැස් කළ විශාලම මුදල් ප්‍රමාණය වීමට බොහෝ දුරට ඉඩ ඇති මෙම මුදල වෙනුවෙන් රටේ වැඩි පිරිසක් ජාති, ආගම්, කුල භේද නොසලකා දායක වීම සුවිශේෂත්වයකි.
මෙම සද්කාර්යයේ මූලිකයා වූ එම්.එස්.එච්. මොහොමඩ් මහතා පිළිකා රෝගයෙන් පීඩා විඳින සිය පුත්‍රයාට ප්‍රතිකාර කිරීමට මහරගම පිළිකා රෝහලට ගිය අවස්ථාවේ රෝහල් කාර්යමණ්ඩලය රෝගීන් වෙනුවෙන් දක්වන කැප කිරීම දුටුවේය. මෙවැනි පිරිසක් සිටින රෝහලකට නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ සපයා දිය හැකි නම් රෝගීන් වෙනුවෙන් කොපමණ සේවයක් කළ හැකි දැයි ඔහුගේ සිතේ ඇති වූ අදහසක් මුල් කරගෙන මෙම අරමුදල ආරම්භ විය. 2016 මාර්තු මාසයේ 04 වැනිදා ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මාස 3 ක් හා දින 9 ක් තුළ සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
'මෙය ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ රන් හදවත්වල ශක්තිය ලොවට පෙන්වූ අවස්ථාවක්. මෙතරම් ඉක්මනට මෙම ඉලක්කය අපට සපුරා ගත හැකි වූයේ ඒ නිසයි. මේ තමයි නියම සංහිඳියාව. මේ අරමුදල වෙනුවෙන් දායක වූ සැමට මම මගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරනවා. එසේම මෙය මෙතැනින් නවතින්නේ නැහැ. දකුණු ආසියාවේ හොඳම පිළිකා රෝහල බවට මහරගම රෝහල පත් කිරීමට අපට දිය හැකි දායකත්වය ඉදිරියේදීත් අපි ලබා දෙනවා'යැයි මේ සඳහා මූලිකත්වය ගත් එම්.එස්.එච්. මොහොමඩ් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ජනතාව නොයෙක් වර සිදු කරන පරිත්‍යාග අතර මේ පරිත්‍යාගයද ඉදිරියෙන්ම තිබෙන බවයි.
'ජනතාව නොයෙක් ආකාරයේ පරිත්‍යාග සෞඛ්‍ය ක්ෂේත්රයට කරනවා. මෙය ඒ අතර සුවිශේෂ පරිත්‍යාගයක් ලෙස දැක්විය හැකියි. ඒ සඳහා එක් වූ සියලු දෙනාටම මගේ ස්තුතිය පළ කරනවා. එසේම මේ පෙට් ස්කෑනරය ලැබෙද්දී රජයේ වියදෙමන් තවත් පෙට් ස්කෑරනයක් අපි ජනතාවට ලබා දෙනවා. එය ලබන මාසයේ දී ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා' යැයි අමාත්‍යවරයා පැවසීය.
පෙට් ස්කෑනරයට අරමුදල් රැස් කිරීමේ පණිවුඩය ජනතාවට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සුවිශාල දායකත්වයක් දැක්වූ අතර විද්‍යුත් මාධ්‍යයෙන් දෙරණ ටී.වී. 'මනුසත් දෙරණ' හරහා අති විශාල විකාශ කාලයක් වෙන් කළේය. අනෙකුත් ආයතන තමන්ට හැකි ආකාරයෙන් ගුවන් කාලය වෙන් කළ අතර විජය පුවත්පත් සමාගම ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු මුද්‍රිත මාධ්‍ය අායතන තමන්ගේ පුවත්පත්වල ඉඩ මේ වෙනුවෙන් නොපැකිළිව වෙන් කළේය. විදේශ ගත ශ්‍රී ලාංකියන්ගේද විශාල දායකත්වයක් මේ සඳහා ලැබුණි. සමස්ථයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව දැවැන්ත ආකාරයෙන් පෙන් වූ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට එක්වනු නොඅනුමානය.