රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවැනි දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිස්එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකුද වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොඳින් දැක තිබේ. එසේම රට තුළ පැවැති දීර්ඝකාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සිට අගමැති ධුරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදු කරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්ෂේත්රයේ ව්යූුහාත්මක වෙනස්කම්වල ප්රතිලාභ ලබන්නන් ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැඟීමයි.
දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය, පරාජය දෙකම ඔහු හොඳින් අත්විඳ තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොඳින් භුක්ති විඳ තිබේ. ඔහු විටෙක වීරයෙකු ලෙසද, තවත් විටෙක ද්‍රෝහියෙකු ලෙසද මෙරට ඇතැම් මාධ්‍ය හා දේශපාලන අංකූරන් විසින් හංවඩු ගසා තිබිණි. ඔහු පාගා යටපත්කොට බලය පවත්වා ගැනීමට උත්සාහ කළ ප්රභාකරන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ද තම පක්ෂයේම වූ ද්රෝහියන්ද දේශපාලන වේදිකාවෙන් බැසගොස් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව දශක හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තවමත් මෙරට පුවත්පත්වල හා විද්‍යුත් නාලිකාවල සිරස්තලවල සිටියි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක්, මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබාදුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නය. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නය. වසර 41ක් ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වීමට හැකි වීම, සෑම දිනකම මෙරට මාධ්‍යවල සිරස්තල බවට පත් වීම මිනිසෙකුට අසීරු කාර්යයකි.
රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්යූුහාත්මක වෙනස්කම් හේතුවෙන් අදත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞරුෂයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වෙති. එම ව්‍යූහාත්මක වෙනස්කම් කෙතරම් ප්‍රබලදයත් දශක හතරකට පසුද ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. ඉන්පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකර යෑමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබිණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්ෂණ යුගයට ගැළපෙන පරිදි රටේ තරුණ කටයුතුවල විශාල ව්යූුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවයි. ඒ බොහෝමයක් වෙනස්කම් සඳහා ඔහු මූලික අත්තිවාරමද දමා තිබේ.
එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයාව සිටියදී ඉදිරිපත් කරනු ලැබූ කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙළින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළෙඳ කලාප දශක තුනකට පසුත්, අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළෙඳ කලාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලු කර්මාන්ත ඇමතිවරුන් ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සාහ කරනු ලැබුවේ රට පුරා නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතිය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරයි. ප්රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනුයේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළෙඳ කලාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය, අද තොරතුරු තාක්ෂණ යුගයට නොගැළපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය හා ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මේ රටේ ජනතාවගේත්, අනෙකුත් කොටස්වලත්, විශේෂයෙන්ම ජනමාධ්‍යයේත් සහයෝගය ලබාදෙන ලෙසයි.
රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටි මීට වසර 25කට 30කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යූහාත්මක වෙනස්කම් අදද මේ රටේ අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විද්‍යාපීඨ, වයස් සීමාවකින් තොරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්වවිද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යායුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්යූුහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණය. පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තිබූ බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැඟීමයි.
එසේම 2001 - 2004 කාලයේ ඔහු මේ රටේ අගමැති ධුරය දරමින් ජනවාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන අතරම
එල්.ටී.ටී.ඊ.යට එරෙහිව ජාත්‍යන්තරය ශක්තිමත් කොට, ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට, සාමයෙන් විසඳා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසඳා ගැනීම සඳහා වූ අගමැතිවරයාගේ කැපවීම අනභිබවනීය බව මාගේ හැඟීමයි. එසේම 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂවාදී රෙජීමය පරාජය කිරීමට තම පක්ෂයත්, රටත් පොළඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් අද බිහිවී තිබේ. එසේම මේ මොහොතේ රටේ සිදුවෙමින් පවතින සංවර්ධන වැඩසටහන් හා සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම පාහේ ඔහුගේ දාර්ශනික මතවාදය මත පදනම් වූ ඒවාය.
කුවේණිය විසින් ජාතිය ගොඩනගා ලංකාවේ පළමුවැනි විධිමත් ජාතික රාජ්‍යය ගොඩනැගීමෙන් පසු අප කවුරුත් දන්නා පරිදි කුවේණියගේ ඉරණම වූයේ පලවා හැරීමය. එසේම ඇය තම ඥාතී සමූහයා විසින්ම විනාශ කර දැමීමේ ඉරණමට ලක්විය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්ද එය එසේමය. එවැනි ජාතියක් වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අනේකවිධ දුක්ඛ දෝමනස්නයන් විඳි දේශපාලන නායකයෙකු වන ඔහුට, ඔහු ඉල්ලා සිටින කාලය අප ලබා දිය යුතුය. රට ජයග්‍රහණය අත්කරගත් පසු විජය කුමාරයා කුවේණිය පන්නා දැමුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමුවද කමක් නැත. වඩා වැදගත් වන්නේ රට අද ඉන්නා තත්ත්වයෙන් ගොඩඒමය. එබැවින් මේ වසරේ ඉතාම නුදුරුව පැමිණීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහු නැවතත් මේ රටේ ජනවරම ඉල්ලා සිටිනු ඇත. එය ලබාදෙනවාද, නැද්ද යන්න මෙරට ජනතාවගේ තීරණයකි. එය කුමක් වුවත් රනිල් යනු මෙම රටේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකම නායකයාය.