අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වන ප්‍රථම පාප් තුමන් ලෙස පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා අද (03දා) පැමිණීමට නියමිතය.
අබුඩාබි ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල්-නහ්යාන් කුමරුගේ ආරාධනයකට අනුව පාප් තුමන් පැමිණෙන්නේ අන්තර් ආගමික සමුළුවකට සහභාගි වීම සඳහාය.
මෙම සංචාරය අතරතුර පාප් තුමන් එලැඹෙන අඟහරුවාදා විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වීමට සූදානමින් සිටින අතර, මේ සඳහා 120,000ක පමණ ජනතාවක් සහභාගී වනු ඇති බව විශ්වාස කෙරෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මේ වනවිට මිලියනයකට ආසන්න රෝමානු කතෝලිකයන් පිරිසක් ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරය ඉන්දියාව සහ පිලිපීනය යන රටවලින් පැමිණි පිරිස්ය.
මෙම සංචාරයේ අතරතුර ඊජිප්තුවේ කයිරෝ අල් අසාර් මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ඉමාම්වරයා වන ෂෙයික් අහ්මෙඩ් අල්-තයේබ් හමුවීමටද පාප් තුමන් සූදානමින් සිටින අතර, මෙම පල්ලිය සුන්නි මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික අධ්‍යාපනය ලබාදෙන ස්ථානයකි.