අතීතයේ විශාල භූමියක නිර්මාණය වූ තනි තට්ටුවේ නිවාස සංස්කෘතිය නාගරීකරණයත් සමග ක්‍රමයෙන් වෙනස් වන්නට විය. ඉඩම් කැබලි වීම හා ඉඩම් මිල ඉහළ යාමත් සමග කුඩා ඉඩම්වලට සීමා වීමත්, තට්ටු නිවාස ක්‍රමය ජනප්‍රිය වීමත් සිදුවිය.

තනි තට්ටුවේ නිවසකින් වෙනස්ව මහල් නිවසකට එක්වන ප්‍රධානම අංගය පඩි පෙළයි. භාවිතය අතින් මහල් දෙකක් යා කරන මාර්ගය ලෙස සරල සාධකයක් වුවත් ගෘහ නිර්මාණ ශිල්පයේ නවතාවන් සමග පඩිපෙළ යන්න සුවිශේෂී විශේෂාංගයක් වී තිබේ. 

විශේෂයෙන්ම ලන්දේසි යුගයේ වලව් සංස්කෘතියේදී සම්පූර්ණ ලී වලින් පඩිපෙළ නිමවන්නට විය. අද මෙන් කොන්ක්‍රීට් හෝ යකඩ භාවිතයක් නොමැති ඒ  යුගයේදී පඩිපෙළ සම්පූර්ණයෙන්ම ලී වලින් නිමැවිණි. පැරණි යුගය සිහිගන්වන චිත්‍රපටවලද ඒ යුගයේ  පඩි පෙළක් සංකේතවත් කරනුයේ ලී පඩි පෙළක් නගිද්දී ඇසෙන දෝංකාර හඬෙන් වීමෙන් එහි භාවිතය පිළිබඳ උපකල්පනය කළ හැකිය.
නවීනත්වය හා තාක්ෂණයේ දියුණුවත් සමග එසේ බරසාර අංගයක් වූ පඩි පෙළ දෘෂ්‍යමය ලෙස සැහැල්ලු නිමැවුමක් බවට පත්කර ගැනීමට ගෘහනිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් සෑහෙන උපක්‍රම භාවිතා කර ඇත. එලෙස  කෙතෙක් දුරට දෘෂ්‍යමය සැහැල්ලුව හා අලංකාරය ගොඩනැංවීම සඳහා උනන්දු වී ඇතිද යත් පඩි පෙළක් නගිද්දී තිබිය යුතු ආරක්ෂාව දෙවැනි කොට සලකමින් අලංකාරයට මුල් තැන දුන් අවස්ථාද වර්තමානයේ දකින්නට ලැබේ. 

කෙසේ නමුත් පඩි පෙළක් නිර්මාණයේදී සිතිය යුතු වැදගත්ම කරුණ නම් එය නගිද්දී දැනෙන මහන්සිය හැකි උපරිමයෙන් අවම වන ලෙස නිමවා ගැනීමයි. ඒ සඳහා පඩි දෙකක් අතර උස තීරණාත්මක සාධකයක් වේ. පඩි දෙකක් අතර පරතරය අඟල් හයක් සිටින සේ පඩිපෙළ නිර්මාණය කරගත හැකි නම් ප්‍රශස්ත මට්ටමක් සේ සැලකේ.

අනෙක් අතින් පඩි පෙළක ඇති සම්පූර්ණ පඩි ගණනද මහන්සිය තීරණය වීමට බලපාන අනෙක් සාධකයයි. සමස්ත පඩි ගණන විස්සක් වේ නම් එය ප්‍රශස්ත අගයක් ලෙස පිළිගැනෙන මුත් පඩි අතර පරතරයට සාපේක්ෂව පඩි ගණන තීරණය වීමට එක් මහලක පොළොවේ සිට අනෙක් මහලේ පොළොවට ඇති උස සෘජුවම බලපායි. 

දීර්ඝ පඩි පෙළක් නැගීමෙන් ඇති කෙරෙන මහන්සිය අවම කර ගැනීමට සමස්ත පඩිපෙළ මැදදී Landing එකක් හෙවත් පළලින් වැඩි පඩියක් නිර්මාණය කිරීම සිදුවේ. එසේ නොමැතිනම් සෘජු තනි පඩි පෙළක් වෙනුවට කාණ්ඩවලට බෙදුණු පඩි පෙළක් නිර්මාණය කරගනී. මේ සියල්ල නිවසේ ආකෘතිය මත තීරණය වන නමුත් මේ සියලු කාරණාවලට වඩා පඩිපෙළක් නැගීමේදී, බැසීමේදී එය කෙතරම් ආරක්ෂිත අවකාශයක්ද යන්න පිළිබඳ වරක් නොව දෙතුන්වරක් සිතුවාට පාඩු නැත.

සටහන සහ ඡායාරූප :මාලක වැලිගොඩපොල

අත්වැලක් නොමැතිව එළිමහනේ නිම වූ පඩි පෙළක්. එහි පඩි එකින් එක සම්බන්ධ නොවී ඇති අතර, තනි තනි පඩි බිත්තියට පමණක් සම්බන්ධ වී තිබේ

 ඒකාකාරී බවින් වෙනස්ව දෘශ්‍යමය විචිත්‍රත්වය ඇති පඩි පෙළක් නිර්මාණයට ගත් උත්සාහයක්

මහල් දෙකක් අතර තනි යකඩ box bar එකක් ආධාරකයක් කරගනිමින් නිම වූ පඩි පෙළක්. ඊට සම්බන්ධ යකඩ තහඩු මත ලී අතුරා පඩි නිර්මාණය කර ගෙන තිබේ

තනි ලෝහ තහඩුවක් නවා නිර්මාණය කළ මෙම පඩිපෙළ නිදන කාමරයක ඇති අට්ටාලයකට ( Atic) නැගීම සඳහා නිර්මාණය වූවකි. මෙවැන්නක් ribbon පඩි පෙළක් ලෙස හැඳින්වේ

සාමාන්‍යයෙන් අත්වැල එක්කරන පැත්තට නොව බිත්තියට අත්වැල  සවිකළ පඩි පෙළක්. දෘශ්‍යමය ඒ සැහැල්ලු බව මතු කිරීමට ගත් උත්සහයකි

එක දිගට විකාශනය වන පඩි පෙළක්. එහි අත්වැල සහ පඩි අතර ආවරණය කිරීමට වීදුරු යොදා ඇත

 

 

 

0 comments

Leave a Reply

Post Comment