කරුණා අම්මාන් අතින් රණවිරුවෝ ඝාතනය වුයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ , රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු පැවතියදී බවත් 2005 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු කරුණා අම්මාන්ලත් මේ රටේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික මෙහෙයට එක් වී ත්‍රස්තවාදය විනාශ කිරීමේ මෙහෙයට දායක වූ බවත් යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවසිය.
ඒවාට ආයුධ දෙමින් ,උඩගෙඩි දෙමින් , අයවැය පරදවා ත්‍රස්තවාදය පවත්වා ගෙන යාමට පාර කපපු, අයගෙන් වැරදි ව්‍යාජ සංවාද වලින් ජනතාව නොමග නොයවන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසිය.
බණ්ඩාරගමදී ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී කුමාරතුංග මහතා මෙසේ පැවසීය,
කාදිනල්තුමාට එල්ල කරන ලද ප්‍රහාරය , ජාතිකත්වය සහ මේ රට ජාතියක් විදියට නැගී සිටීමට එරෙහි කටයුත්තක් හැටියට යුතුකම ජාතික සංවිධානය හැටියට අපි දකිනවා. මෙතෙක් කල් භික්ෂූන් වහන්සේලාට එල්ල කරන ලද ප්‍රහාර මාලාවම ඉදිරියට යාමක් හැටියට මෙය සැලකිය හැකියි. අපි කවුරුත් දන්නවා මේ රටේ ත්රස්තවාදයක් පැවතුණා. ඒ ත්රස්තවාදයට අද ඔය විපක්ෂයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වන්න හදන සජිත් ප්‍රේමදාස මහතාගේ පියා ආර්.ප්‍රේමදාස මහතා රට පාලනය කරන කොට කොටි ම්ලේච්ච ත්රස්තවාදයට ආයුධ දුන්නා, සිමෙන්ති දුන්නා, මුදල් දුන්නා. අපේ රටේ විරෝධාර රණවිරුවන් සහ ජනතාව ඝාතනය කරන්න යොදා ගත්තා. අනුර කුමාර දිසානායක ජ වි පෙ නායකයා ඇස් කරකව කරකව දෙදහක් මැරුවලු , තුන්දහක් මැරුවලු කියනවා. එයා එදාද දැන ගත්තේ. රටේ මිනිසුන් දෙදහසක් තුන්දහසක් විතරද ඔය කොටි ත්‍රස්තවාදයෙන් මැරුණේ. හැබැයි කරුණාගේ ප්‍රකාශය තුලම තියෙනවනේ කොරෝනා වලින් මැරුණේ එකොලයි .අලිමංකඩදී දෙදාහක් තුන්දාහක් මැරුණා. කිලිනොච්චි වලදී ඊටත් වඩා මැරුණා. දැන් මේ කාරණය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කරුණා අම්මාන් අතින් ඔය ආකාරයට රණවිරුවෝ ඝාතනය වුණේ මොන ආණ්ඩු තියෙද්දීද ? චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ , රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු තියෙද්දී. 2005 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පිහිටුවයින් පස්සේ කරුණා අම්මාන්ලත් මේ රටේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික මෙහෙයට එක් වෙලා ත්‍රස්තවාදය විනාශ කිරීමේ මෙහෙයට දායක වුනා.
කොරෝනා වසංගතය එතරම් දරුණු නැති බවනේ ඒ ප්‍රකාශය තුල කියවෙන්නේ. මිය ගිහින් තියෙන්නේ එකොලොස් දෙනයි. හදිසියෙවත් දැන් තිබුණේ අර පැවතිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නම් කොරෝනා එකොළහකට සිමා වන්නේ නැහැ. එකසිය දහයක් ද ,එක්දහස් එකසියයක්ද , එකොලොස් දහසක්ද , එක්ලක්ෂ දස දහසක්ද කියන එක අපි දන්නේ නැහැ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් , මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේත් රජය නිසා තමයි කොරෝනා එකොළහකට සිමා වෙලා තියෙන්නේ. පාලනය වෙලා තියෙන්නේ.
දවසක කොරෝනා වසංගතයට අවසාන පිළිතුර ලැබෙන්නේ ඒ සඳහා එන්නතක් නිර්මාණය කරලා. කොහොමද වෛරසයකින් පැතිරෙන වසංගතයකට අපි එන්නතක් නිෂ්පාදනය කරන්නේ ඒ විෂබිජයම යොදා ගෙනමයි. වෙන ක්‍රමයක් නැහැ. ඒ විෂබිජයම මර්දනය කරලා පාලනය කරලා ඒ විෂබිජයම මැරීම සඳහා යොදා ගන්නවා. ඒක තමයි එන්නතක් කියන්නේ. ඒකම තමයි අපේ ආණ්ඩුව කරුණා අම්මාන් සම්බන්ධයෙන් කළේ. ඒ ත්රස්තවාදියා පාලනය කරලා ඒ ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහාම මෙහෙයවපු එකයි. ඒවාට ආයුධ දුන්න අය, උඩගෙඩි දුන්න අය, අයවැය පරදවල ත්‍රස්තවාදය පවත්වා ගෙන යන්න පාර කපපු ජනතා විමුක්ති පෙරමුණ අනේ දන්නේ නැහැලු , අපිට දුකයිලු දෙදාහක් මැරුණා කියලා අපේ රටේ. ඒ නිසා මේ වැරදි ව්‍යාජ සංවාද වලින් ජනතාව නොමග යවන්න හදන්න එපා.
දැන් කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට විරෝධය පල කරලා ගෙවිදු කුමාරතුංග පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස් වෙනවද කියලා මුහුණු පොතේ එන් ජී ඕ මිත්‍රයෙක් දාල තිබුණා. අපි ඒ මිත්‍රයන්ට කියන්න කැමතියි අපි විජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන වෙලාවක ඉදිරියට ආවේ එක එක ඒවාට යට වෙන්න නෙමෙයි. ඒවා ජාතිකත්වය තුල අපේ මේ රටේ උරුමය තුල ඒවා පාලනය කරලා පරාජය කරලා රටේ යහපත වෙනුවෙන් නායකත්වය දෙන්නටයි. කරුණා සම්බන්ධයෙන් , කොරෝනා සම්බන්ධයෙන් සහ ඉදිරියේ අපේ රටට තර්ජනයක් වන ඕනෑම බලවේගයක් සම්බන්ධයෙන් ද එලෙසම බව සිහිපත් කිරීමට කැමතියි. අපි ඒවා පරාජය කරනවා. පාලනය කරනවා . රටේ යහපතට යොදවනවා.
බිමල් ශ්‍යාමන්
