අප ජීවත්වන සමාජයට බපෑමක් එල්ල කරමින් සමාජය උඩු යටිකුරු කරන්නට ඇතැම් කාන්තාවන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් සතු කැපවීමත් චිත්ත ධෛර්ය නිසාත් යැයි පැවසිය හැකිය. එලෙස තමන් ජීවත්වන රටට මෙන්ම ලෝකයටද යම්කිසි බලපෑමක් හා ආදර්ශයක් සපයන කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමෙන් සොයා බලන විවිධ ආයතනද දැකගත හැකිය.
එලෙස 2018 වර්ෂයේ ලොවට ආදර්ශ සපයන හා බලපෑමක් එල්ලකරන කාන්තාවන් සිය දෙනෙකුගේ ලැයිස්තුවක් සකසන්නට %බීබීසී^ පුවත් සේවය පසුගියදා කටයුතු යොදා තිබුණි. එය අපට වැදගත් වන්නේ ශ්‍රී ලාංකික කතක්ද එම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙනි. ඇය නමින් ආශා ඩි වොස් වන අතර, තිස්නව හැවිරිදි වියේ පසුවන ඇය සාගර විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන්නීය.
ලොවට බලපෑමක් කළ හැකි හා අනෙක් අයට ආදර්ශයක් දෙමින් ඔවුන්ව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන් සියදෙනාගේ ලැයිස්තුවේ ඇයට හිමිව තිබෙන්නේ විසි තුන්වැනි ස්ථානයයි. මේ ඇය ගැන තබන කෙටි සටහනකි.
කොළඹ කාන්තා විදුහලෙන් අධ්‍යාපනය ලබන ඇය කුඩා කල පටන්ම සාගරයට ආදරය කළ කෙනෙකු වශයෙන් ඇය හඳුන්වා දෙන්නීය. මවුපියන්ගෙන් ලද මගපෙන්වීම මත සාගර විද්‍යාඥවරියක දක්වා පැමිණි ගමන් මගේදී ආතර් සී ක්ලාක් මහතාගේ උනන්දු කිරීමද ඇයට ධෛර්යක් වූ බව ඇය සඳහන් කරයි. එංගලන්තයේ සාන්ත ඇන්ඩෘ සරසවියෙන් සාගර ජීව විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ ඇය පශ්චාත් උපාධිය හදාරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සරසවියෙනි.
ඉන්පසුව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ආචාර්යය උපාධිය හදාරන ඇය සමුද්‍රීය ක්ෂීරපායි පර්යේෂණ පිළිබඳ ආචාර්යය උපාධියක් සහිත මෙරට පළමු පුද්ගලයා බවට ඉතිහාස ගතවන්නීය. ඇය ලෝකය පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ නිල් තල්මසුන් පිළිබඳව ඇය කරන කැපවීම හේතුවෙනි.
මේ වෙනුවෙන් ඇය සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්රදානය කළ සම්මානයකින්ද 2017 වර්ෂයේදී ඇය පිදුම් ලැබුවාය. එසේම ඇය 2016 වර්ෂයේ %නැෂනල් ජියෝග්රැෆික් එක්ස්ප්ලෝරර් ලෙසද තේරී පත්වුණාය.
ඊයේ ( 19දා) බීබීසී පුවත් සේවය විසින් නම්කළ ලැයිස්තුවේ ඇය ලෝකයට බලපෑම් එල්ලකරන කාන්තාවන්ගේ ලැයිස්තුවට එක්වෙමින් ශ්‍රී ලංකා නාමය යළි යළිත් ඉහළට ඔසවා තැබුවාය. මෙම ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ Abisoye Ajayi-Akinfolarin නමැති නයිජීරියානු ව්‍යවසායික කාන්තාවකි. ඇය එරට ගැහැනු ළමුන් මුහුණදෙන ගැටලුවලට පිළියම් සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කළ අතර, සමාජ සේවිකාවක වශයෙන් ඇය ගැහැනු දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වැඩි කැපවීමක් සිදුකරනු ලබයි.
එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ Esraa al-Shafei නමැති බහරේන් ජාතික කාන්තාවකටය. ඇය හඬක් නොනැගෙන මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු ජනතාවගේ හඬ ඩිජිටල් මාධ්‍ය හරහා ලොවට ගෙන යෑමට ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
එහි තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ රුසියානු මෝස්තර නිරූපිකාවක වන දහ අට හැවිරිදි Svetlana Alekseeva හටය. පිලිස්සීමකට ලක්ව සිරුරේ අඩක් විරූපීව සිටින ඇය කැලැල් නිසා සැඟව සිටින අයට ධෛර්යයක් සපයමින් ජීවිතය ජය ගන්නට නැගී සිටින්නියකි. ලෝකය පුරා නර්තනය රැගෙන යමින් ඒ හරහා ලෝකයට උත්ප්‍රේරකයක් වී සිටින කියුබා ජාතික Lizt Alfonso මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය දිනාගෙන සිටින්නීය.
ගැහැනු ළමුන්ගේ ලිංග විජ්ජේදනයට එරෙහිව නැගී සිටින සෝමාලියානු තරුණියක වන Nimco Ali එහි පස්වැනි ස්ථානයේ රැඳී සිටියි. මෙහි හයවැනි ස්ථානය දිනා සිටින්නේ පේරු රාජ්‍යයේ ලේඛිකාවකි. ඇය ස්පාඥ්ඥ බසින් ලේඛණයේ යෙදෙන අතර, ලොව වැඩිම කියැවීමක් සහිත ස්පාඤ බසින් වන පොත් ඇය අතින් රචනා වී ඇත. ඇයගේ කෘති මිලියන 70කට අධික සංඛාවක් ලොව පුරා අලෙවි වී තිබේ. එසේම භාෂා 42කට පරිවර්තනය වී ඇත. ඇය Isabel Allende නම් වෙයි.
යේමනයේ ජායාරූප ශිල්පිනියක වන Boushra Yahya Almutawakel මෙහි හත්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඇය අන්තර්ජාතික වශයෙන් අවධානය දිනාගත් පළමු යේමන ජායාරූප ශිල්පිනිය ලෙස හැඳින්වේ. මෙම ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ සිටින්නේ කිර්ගිස්ථානයේ පාසල් දැරියක වන Alina Anisimovaයි. ඇය සිය රටෙන් චන්ද්‍රිකාවක් කක්ෂ ගතකරන පළමු පුරවැසියා වීමේ අභිප්‍රායෙන් කටයුතු කරමින් සිටියි. Frances Arnold නමැති ඇමෙරිකානු රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක මෙම ලැයිස්තුවේ නවවැනි ස්ථානයේ රැඳී සිටියි. හැට දෙහැවිරිදි ඇය සේදුම් කාරකවලට නව තාක්ෂණයන් හඳුන්වා දීමට වැඩි අවධානයක් යොමු කර තිබේ.
බීබීසිය මගින් නම්කළ මෙම ලැයිස්තුවේ දසවැනි ස්ථානය හිමිව තිබෙන්නේ නේපාල කාන්තාවකටය. ඇය Uma Devi Badi නම් වෙයි. ඇය නේපාලයේ හීන කුලයක්වන %බඩී^ නම් කුලයෙන් පැවත එන අතර, නේපාලයේ පවතින කුලවාදය තුරන් කිරීම වෙනුවෙන් මහත් සේවාවක් සිදුකරන්නීය.