කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරිය හා අමාත්‍යාංශ ලේකම්තුමිය විසින් යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයා සමග පසුගියදා විශේෂ සාකච්ජාවක් සිදුකළ අතර, එහිදී පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හා සයින්දමරුදු බෝම්බ පිපිරීම හේතු කොට ගෙන දරුවන් 169 දෙනෙකු පීඩාවට ලක් වූ බව වාර්තා වී තිබේ.
ඔවුන් අතරින් සමහර දරුවන් මිය ගොස් ඇති අතර, සමහරුන් තුවාල ලබා තිබේ. ඇතැම් දරුවන් මව හෝ පියා සමග තනි වී ඇති අතර, තවත් සමහරුන්ට මව්පිය දෙදෙනාම අහිමි වී ඇත.
මෙම ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවට මනෝ-සමාජීය සහාය හා උපදේශන සේවා සැපයීම පිණිස, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් ලබාගත් දත්ත මත පදනම්ව අමාත්‍යවරිය විසින් යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයා සමග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
තවද, යුනිසෙෆ් ආයතනය හා එක්ව, අසරණ වූ ළමුන් සඳහා අධ්‍යාපනික ආධාර ලබාදීමට සහ ආබාධිත වූ දරුවන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යාංශය මගින් සැලසුම් සකස් කරනු ඇති අතර, අමාත්‍යාංශයේ සහාය අසරණ වූ දරුවන් වෙත ලබා දෙමින්, ඔවුන් වෙනුවෙන් විකල්ප රැකවරණ ක්‍රමයක් ස්ථාපනය කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරයි.
මෙම හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් වෙත සහාය වීමක් වශයෙන්, ඔවුන්ගේ ආදායම් වර්ධනය කිරීම පිණිස ස්වයං රැකියා ආරම්භ කිරීමට මූල්‍ය සහාය ලබා දීමටද අපේක්ෂා කරන අතර, මෙම ආධාර උපකාර අඛණ්ඩව ලබාදීම හා අසරණ ජනතාවගේ සුබසාධනය සහතික කිරීම වස්, සහන සේවාවල ප්‍රගතිය හා අනාථ වූ පවුල්වල දියුණුව අධීක්ෂණය කරමින් එම අසරණ පවුල්වල දත්ත පද්ධතියක් පවත්වා ගෙන යෑමටද අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොළඹ මහ රෝහලේ හා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම පිණිස වහාම අවශ්‍ය වන වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා අමාත්‍යාංශයේ මැදිහත් වීම මත යුනිසෙෆ් ආයතනය විසින් මුදල් වෙන් කරනු ලැබූ අතර, මෙහිදී, මඩකළපු රෝහල, කොළඹ මහ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මීගමු රෝහල යන රෝහල් 04 සඳහා ඇ.ඩොලර් 85,000ක් ලබාදී තිබේ. වෙනත් අවශ්‍යතා සඳහා යුනිසෙෆ් ආයතනය විසින් ඇ.ඩොලර් 5000ක් වෙන් කරදී ඇත.
ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශවල යෞවන හා තරුණ ජනතාව ඉලක්ක කර ගනිමින් යුනිසෙෆ් ආයතනය විසින් සිය පාසල් ආශ්රිත සමාජ ඒකාබද්ධතා හා සමගි සන්ධාන ඇති කිරීමේ කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී ප්රමුඛ ක්‍රියාකාරකම් හා දීර්ඝකාලීන සාමය ඇති කිරීම පිණිස සහජීවනය, ප්‍රජා ප්‍රත්‍යාස්ථිතිය, ප්‍රජා ඉවසීම, සහයෝගය හා අවබෝධය ඇති කිරීම පිණිස පණිවුඩ යොදා ගැනීමට සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව දරුවන්, ගුරුවරුන් හා දෙමව්පියන් 40,000ක් වෙත ළඟා වීමට යුනිසෙෆ් ආයතනය සැලසුම් කරනු ලැබේ.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ යුනිසෙෆ් යන ආයතන හා එක්ව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය විසින් අසරණ වූ පවුල් ශක්තිමත් කිරීම පිණිස ආර්ථික, අධ්‍යාපනික හා මනෝ සමාජීය සහාය ලබාදීමට අපේක්ෂිතය.