බුත්පිටිය කනිෂ්ඨ විදුහලට පැවති අවශ්‍යතාවයක් සපුරාලමින්,  අත්තනගල්ල රජ මහා විහාරාධිපති පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම උන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. 

සිය ජන්ම දිනය වෙනුවෙන් සිසුදරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ උතුම් අරමුණ ඇතිව සිදු කෙරෙන වැඩ පිළිවෙලට  අනුව රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වැය කොට ඉදිකළ 29 වෙනි පාසල් ගොඩනැගිල්ල ලෙස මෙම තෙමහල් ගොඩනැගිල්ල මෙලෙස සිසු දරුවන් වෙත බාර කෙරිණි. 

උන්වහන්සේගේ 75 වෙනි ජන්ම දිනය වෙනුවෙන් මෙම 29 ගොඩනැගිල්ල විවෘත කෙරෙනවිට මුලු ඉදිකිරීම් සදහා රුපියල් කෝටි 66 ක් වැය කොට ඇති බවත් තවත් පාසල් 6 ක් සදහා ගොඩනැගිලි ඉදිවෙමින් පවතින බවත් මෙහිදී ප්‍රකාශ විය. 

මෙහිදී අනුශාසනාවක් කරමින් ආනන්ද නාහිමියන් පවසා සිටියේ,  මිනිසත් බව ලබා ඉපිද සිටින අප ජීවිත කාලය තුල අර්ථවත්ව අනුනට සේවය කළ යුතු බවත් අනාගතයේ රට බාර ගැනීමට සිටින වත්මන් දරු පරපුරට දැන උගත්කම් ලබාදීමට මෙවන් කටයුතු සිදු  කළ යුතු බවත්ය. දරු පරපුර වෙනුවෙන් මෙවැනි සේවාවක් ඉටුකරලීමට හැකිවීම සතුටට කරුණක් බවද උන්වහන්සේ සදහන් කළහ.

විදුහල්පති ආර්.ඒ.එන්.කරුණාරත්න මහතා සදහන් කර සිටියේ, වසර සීයකට වඩා පැරණි ගොඩනැගිලි මෙම විදුහලේ පවතින බැවින් ආනන්ද නාහිමියන් විසින් මෙවැනි ගොඩනැගිල්ලක් දරුවන් වෙනුවෙන් ලබාදීම විශාල පුණ්‍ය ක්‍රියාවක් බවය.

ගම්පහ තිලකරත්න දිසානායක

0 comments

Leave a Reply

Post Comment