මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ ‘ජලය ජීවය සපයයි‘ යන්නයි. ඒ අනුව සියලුම සම්පත් අතරින් වඩාත් අත්‍යාවශ්‍ය වූ මෙම සම්පත සමරන, ලෝක ආහාර දිනයට අදාළ මේ වසරේ තේමාව ශ්‍රී  ලංකාවට විශේෂයෙන් වැදගත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජලය බහුලව පැවතීම ලංකාවේ ප්‍රගතියට තීරණාත්මක වී ඇති අතර, දේශගුණික විපර්යාස නිසා උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතනයට බාධා ඇති වී ජල මාර්ග සිඳීයාම , සහ වැඩිවන ජනගහනය ක්ෂය වන ජල මට්ටම මත පීඩනයක් ඇති කිරීම යන හේතු මත ජලය නොමැති වීමෙන්, රටට  අඛණ්ඩ  වර්ධනයක් අත්පත් කරගත නොහැක.

අද, ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක පසුවන  අතර, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ ජල කළමනාකරණය සඳහා නව්‍ය, තිරසාර භාවිතයන් අනුගමනය කිරීම සඳහා වන රටෙහි තෝරාගැනීම එහි අනාගතය හැඩගස්වනු ඇත.

විශේෂයෙන්ම තිරසාර, දේශගුණ සංවේදී පිළිවෙත් සහ ආර්ථික වර්ධනය අතර හුවමාරුවක්හෝ සම්මුතියක් නොමැති බව මේ වන විට පැහැදිලි විය යුතුය. මිනිසුන් උදෙසා, ලාභය උදෙසා, අපගේ ග්‍රහලෝකය  උදෙසා - අපගේ අඛණ්ඩ සමෘද්ධිය උදෙසා අප විශේෂයෙන් ම කෘෂිකර්මාන්තයේදී තිරසාර භාවිතයන් වැලඳ ගත යුතුය.

මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී, ශ්‍රී ලංකාව  දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින්, එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව  සහතික කරමින් සහ සෙසු  රටවලට ආදර්ශයක් ලබා  දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට නව්‍ය ප්‍රවේශයන් වැලඳ ගත යුතුය.

අනෙකුත් සෑම අංශයකටම බලපාන හෙයින්, ජලය, මෙවන් තිරසාර යෙදීම් සහ භාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා සුදුසුතම ආරම්භ ලක්ෂය වේ. ශ්‍රී ලංකාව ජල සම්පතෙන් පොහොසත් වුවද ජල කළමනාකරණයේදී අභියෝගවලට මුහුණ දී ඇත.

FAO සහ UN Water විසින් 2021 දී නිකුත් කරන ලද වාර්තාවක, ශ්‍රී ලංකාව 90.8% දර්ශකයක් සහිතව  'ජලයෙන් අධිකව ආතතිය පත්' යනුවෙන්  වර්ගීකරණය කර ඇති අතර, රටේ මිරිදිය සම්පත් මත මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන පීඩනය සහ එම ක්‍රියාවල තිරසාර භාවය පිලිබඳ කරුණු පිළිබිඹු කරයි.

ගුණාත්මකබව, ප්‍රමාණය සහ ලවණ අන්තර්ගතයට අදාළ රටේ ජලය සම්බන්ධ ගැටලු, නියඟ කාලවලදී අඛණ්ඩව ආරක්ෂිත පානීය ජලය සැපයුම  සහතික කරන්නේ කෙසේද, නිෂ්පාදන ධාරිතාව පුළුල් කරන්නේ කෙසේද සහ ජල මූලාශ්‍රවල ආතතිය අඩු කරන්නේ කෙසේද සහ ජලයේ ගුණාත්මකබව පිරිහීම වළක්වා ගන්නේ කෙසේද යන ගැටලු මේ අතර මූඛ්‍ය වේ.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන අනපේක්ෂිත බව ශ්‍රී ලංකාවේ ජල යටිතල ව්‍යුහයේ මෙම අවදානම් උග්‍ර කරනු ඇති අතර  ජීවිත සහ ජීවනෝපාය කෙරෙහි ද ආහාර ආරක්ෂිතතාව කෙරෙහි ද විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරනු ඇත. ජල ආතතිය අඩු කිරීමේ ඇති ප්‍රමුඛතම මාර්ගය වන්නේ තිරසාර කෘෂි ආහාර පද්ධති කෙරේ නැඹුරු වීමයි . දැනටමත්, නියඟය සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් භෝග නිෂ්පාදනයේ සැලකිය යුතු පහත වැටීමකටත්, විශේෂයෙන් ග්‍රාමීය දුප්පතුන් අතර ආහාර අනාරක්ෂිත භාවය ඉහළ යාමටත්  හේතුවෙමින්  පවතී.

ශ්‍රී ලංකාවේ 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුට තවමත් නල ජලය නොමැති අතර භූමි ප්‍රමාණයෙන් සියයට 70 ක් නියෝජනය කරන සහ රටේ ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසකට රැකියා සපයන-බොහෝ විට කෘෂිකර්මාන්තය පදනම් කරගත් වියළි සහ අතරමැදි කලාප, ඇතැම්විට වසර දෙකකට අධික කාලයක් පැවතිය හැකි, කඩින් කඩ ඇතිවන  නියඟ හේතුවෙන් උග්‍ර ජල හිඟ තත්ත්වයන්ට  මුහුණ දේ. 

එබැවින් ජල ගැටලුවලට  ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම  සහ දේශගුණික විපර්යාසවලට  අනුවර්තනය වීම ඉතා වැදගත් වේ. නමුත් මෙම පරිවර්තනීය වෙනස  සඳහා සාමූහික කැපවීමක් අවශ්‍ය වේ; ගොවීන්, පාරිභෝගිකයින්, පෞද්ගලික අංශය, රජය, මාධ්‍ය සහ රටේ තරුණ ජනතාව ඇතුළු සියලුම  පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහාය  සහ සහයෝගීතාවයෙන් තොරව එය සිදු නොවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විශේෂයෙන්ම එහි ආහාර සම්බන්ධව පවතින නියෝජිතායතන මෙම සංක්‍රාන්තිය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමෙහිලා යහපත් ස්ථාවරයක සිටින බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සඳහන් කර සිටියි.

මේ යටතේ සිදුකල මුලපිරීම් කිහිපයක්ම දැනටමත් ධනාත්මක ප්‍රතිඵල ලබමින් සිටී . නිදසුනක් වශයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, (FAO)  රසායනික පොහොර අඩුවෙන් භාවිත කෙරෙන,භෝග අස්වැන්න වැඩි කරන සහ අඩු පාරිසරික බලපෑම්  ඇති කරන නවීන ප්‍රවේශයන් අනුගමනය කිරීමට ගොවීන් 6,000කට සහය දැක්වීම හරහා තිරසාර වී වගාව සක්‍රීයව ප්‍රවර්ධනය කරයි.

මීට අමතරව, FAO විසින් රසායනික යෙදවුම් සහ  ජල දූෂණය අවම කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තිරසාර පරිසර පද්ධතියක් උදෙසා  ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම තුළින්  ගොවීන්ට සහ පරිසරයට ප්‍රතිලාභ සලසමින් ප්‍රධාන භෝග කිහිපයක්ම ඔස්සේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ජයගෙන ඇත. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) මේ වන විට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව රටේ වියළි කලාපවල පරිසර විද්‍යාත්මක හා සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි ගංගා ද්‍රෝණි තුනක ජල කළමනාකරණය උදෙසා  එල්ලංගා පද්ධති ස්ථාපනයට සහාය වන අතරම  ගොවීන්ට යල සහ මහ කන්න  දෙකෙහිම වගා කළ හැකි පරිදි ඒවා ප්‍රතිසංස්කරණය කරයි.

නැවත නැවත ඇතිවන  දේශගුණික කම්පනවලට සූදානම් වීමට සහ ඒවායේ  බලපෑම අවම කිරීමට රජයට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP)   හදිසි සූදානම්  සහ ප්‍රතිචාර සහාය සපයයි.  ආහාර වෙත මිනිසුන්ගේ ප්‍රවේශයට  බාධා නොවන බව සහතික කරන අතරම  ජාතික සහ උපජාතික සමාගම්වලට මෝසම් වැසි සඳහා සූදානම් වීමට උපකාර කිරීම, හදිසි අනතුරු ආපදා බවට පත්වීම වැළැක්වීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ වෙනත් මෙවලම් භාවිතා කිරීම ද මීට ඇතුළත් වේ.

වර්තමානයේදී මෙන්ම  අනාගතයේදී, සෑම කෙනෙකුටම තිරසාර ජල සහ සනීපාරක්ෂක සේවා සඳහා ප්‍රවේශය හිමිවිය  යුතුය. සැබවින්ම , අනාගත පරම්පරාවේ යහපැවැත්ම සහතික කිරීම වර්තමානයේදි  තිරසාර පිළිවෙත්  අනුගමනය කිරීම මත රඳා පවතී. මෙම පරිවර්තනීය වෙනස ඇති කිරීමට ශ්‍රී ලංකාව එහි තරුණයන්ට බැඳී සිටියි. යෞවනයන්,  නවෝත්පාදනයන මෙහෙයවන සහ වඩාත් තිරසාර සහ සාධාරණ අනාගතයක් වෙනුවෙන් පෙනී සිටින වෙනසෙහි බලගතු නියෝජිතයන් විය හැකිය.

ජලය, ආහාර සහ තිරසාරබව අතර සම්බන්ධයශ්‍රී ලංකාව තුළ ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. මෙම ලෝක ආහාර දිනය අපගේ සාමූහික වගකීම පිළිබඳ සිහිකැඳවුමක් වැනිය. කෘෂිකර්මාන්තයේ සහ ජල කළමනාකරණයේ තිරසාර භාවිතයන් වැළඳගැනීම හරහා  ශ්‍රී ලංකාවට  එහි ආහාර අනාගතය ආරක්‍ෂිත සහ සුරක්ෂිත කිරීමට පමණක් නොව, අප ග්‍රහලෝකයේ සීමිත සම්පත් සමඟ සුහද සහජීවනයේ ආදර්ශය සපයමින් ද ලෝකය දිරිමත් කළ හැකිය .එය එකමුතුකම,සහයෝගීතාව සහ සාමූහික දැක්මක් ඉල්ලා සිටින ගමනකි-එක්ව යන විට , සැමට වඩා දීප්තිමත් හා තිරසාර අනාගතයක් පිළිබඳ පොරොන්දුව දරන ගමනකි. ආහාර ආරක්ෂිතතාව සහ තිරසාරත්වය සඳහා වන මෙම පරිවර්තනීය මාවතේ කිසිවෙකු අත නොහරිමු.

 

0 comments

Leave a Reply

Post Comment