පිරිසුදු වීම අප කවුරුත් සිදුකරන ක්‍රියාවක්. සමහර විට නෑම නැතිනම් ස්නානය කියන්නේ යම් ප්‍රතිකාරයක් බවට පත්වෙන අවස්ථාද නැතිවාම නොවෙයි. ජලය සැබවින්ම බෙහෙතක්ද? කියාත් සිතන අය අපි අතර ඉන්නවා. ඔව් ජලය නැතිව අප කා හටත් ජීවත් වෙන්න අපහසුයි. ජීවීන්ට ජීවත් වීම  සහ ආරක්ෂාව, පෝෂණය ලැබීම සඳහා සුදුසුම දේ ජලය යැයි ස්වභාවධර්මයාගේද නියමයක්. එසේ කියන්නේ ඇයිදැයි දැන් ඔබට ප්‍රශ්නයක් මතුවේවි.


ජලය ජීවියෙකු වැඩීම සඳහා සුදුසුම මාධ්‍ය සේ සලකන බැවින් යුක්තානුවක් නැතිනම් සංසේචනය වූ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක එකතුවෙන් සෑදෙන යුක්තානුවක් ගර්භාෂය තුළ තැන්පත් වෙන්නේ උල්බ තරලයක් තුළයි. වෝටර් බෑග් යනුවෙන් අප කවුරුත් දන්නා හඳුනන ඒ  පැස තුළ තිබෙන්නේ ජලීය පදාර්ථයක්. දරුවා හොඳින් පෝෂණය වී වැඩී උපත ලබන්නට සූදානම් වන අවස්ථාවේ බිඳී යන මේ උල්බ තරලය සහිත පැස තුළින් ජලය පිටතට ගලා විත් දරුවා බිහිවුණ පසුවත් සිදුවන පළමු ක්‍රියාවලිය වනුයේ දරුවා නෑවීමයි.

එනම් ජලය හා සම්බන්ධ කිරීමයි. මේ හේතුව සමග ගළපන විට වතුර හා ස්නානය අපේ ජීවිතයේ ඉතාම වැදගත් ක්‍රියාවලියක් බව ඔබට වැටහෙනු ඇති.ස්නානය කරනවා නම් හැකි තාක් උදෑසන කාලය තුළ ස්නානය කරන්න කියන මතය සමාජය තුළ මුල් බැසගෙන තිබේ. නමුත් රාත්‍රී කාලයේ වුවත් උපදින දරුවෙකු එවේලේම ස්නානය කරවන නිසා මේක හොඳ දෙයක්ද යන ගැලුව ඔබටත් මතුවෙන්නට පුළුවන්.  අද අපි ඔබට ගෙන එන්නේ ස්නානය හා බැඳුණු මත පිළිබඳ සැබෑවයි.

ශරීරයට යම් නියත ඌෂ්ණත්වයක් අවශ්‍ය වන බව ඔබ දන්නා කරුණක්. වැඩි ඌෂ්ණත්වය සහ අඩු ඌෂ්ණත්වය යන අගයන්වල අපට ජීවත් වෙන්නට බැහැ. නමුත් අපේ රට යනු එවන් දේශගුණික තත්ත්වයන් සහිත රටක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ සම දේශගුණික තත්ත්වයක් පවතින නිසා අපට සාමාන්‍ය උෂ්ණත්වය සහිත ජලය ස්නානය කරන්නට ලැබෙනවා. අලුත උපන් බබෙකු නාවන්න වුණොත් සියලුදෙනාම ඒ සඳහා යොදාගන්නේ උණු වතුර. මෙය අත්‍යාවශ්‍ය දෙයක්ද? උණුවතුරෙන් නාවන්නේ ඇයි?

දරුවාට සීතල සෑදීම වළක්වන්නට යැයි එවිට ඔබට පිළිතුරු ලැබේවි.  දරුවා උණුසුම් ජලයෙන් නාවන විට දරුවාට පිටතින් දැනෙන දැනීම සීතල වැඩි එකක් බව ඔබ නොදන්නවා ඇති. උණුවතුර භාවිත කර ස්නානය කරන අයෙකුගෙන් මේ දැනීම ගැන අසන්න. වතුර ඇඟට වැටෙන විට උණුසුම් වුවත්, එය සිරුරෙන් බේරී අවසන් වූ වහාම සමට දැනෙනුයේ දැඩි සීතලක් බව ඔබ අත්විඳ ඇති. මෙයට හේතුව ජලයේ  උණුසුම විසින් සිරුරේ අභ්‍යන්තර උණුසුම පිටතට ඇද ගැනීමයි.

මේ නිසා දරුවාට සීතල නොදැනෙන්නට කියා උණුවතුර පාවිච්චි කරන එක සීතල දැනෙන්නට මිස සීතල නොදැනෙන්නට හේතුවක් නෙවෙයි. එයින් දරුවාගේ සම වියළීම සහ කැසීමක් නම් මතුවන්නට පුළුවන්.  දරුවා නාවන්නට එසේ නම් සුදුසුම ජලය මොකක්ද කියලා ඔබ ප්‍රශ්න කරාවි. සාමාන්‍යයෙන් අප දරුවා නාවන්නට  යොදාගන්නා ළිං ජලය හෝ පයිප්ප ජලය ඒ සඳහා ප්‍රමාණවත්. ඇළ දොළ ජලය වුවත් වරදක් නෙවෙයි. නමුත් මේ ජලය බේසමකට පුරවා සාමාන්‍ය රස්නයට පැමිණෙන තෙක් තිබෙන්නට හරින්න.

එයින් පසු සාමාන්‍ය ව්‍යවහාරයේදී කාමර උෂ්ණත්වය කියා අප හඳුන්වන උෂ්ණත්වයට මේ ජලය පත්වීමත් සමග එය දරුවා නෑවීමට ඉතාම සුදුසු ජලය ලෙස පිළිගැනීමට ලක්වෙනවා. මේ ජලය නෑවීමෙන් දරුවාට හෝ ඇතැම් රෝගී වැඩිහිටියන්ට සෙම් රෝග හැදෙනවා යැයි පවතින මතය ගැන සත්‍ය මෙයයි. සෙම් වැඩි වීම යනු අසාත්මික ලක්ෂණයක්. සමහරුන්ට නෑමෙන් පසු සෙම් වැඩි වූ බවක් දැනෙන්නට හැකියි.

නාන්නට පළමු කුමන හෝ උණුසුම් පානයක් භාවිත කිරීමෙන් නෑම නිසා ඇතිවන සීතල, නාසයේ ඇතුළත පවතින සියුම් පක්ෂ්මවලට ජල වාෂ්ප හෝ  බිංදු හා සම්බන්ධයක්  ඇතිවී දක්වන ප්‍රතිචාර වැළකී යන්නට උපකාරයක්.  දැන් අපි ස්නානය සම්බන්ධ වැදගත්ම තොරතුරු සහ සමාජගතව පවතින මත පිළිබඳ විමසමු. උදේ පාන්දරම පරිසරයේ උෂ්ණත්වය අඩු වී ඇති විට හිරුඑළිය හා රස්නය අඩු විටදී ස්නානය කිරීම පීනස් වැනි රෝග තත්ත්වයන් සහිත අයට අහිතකර වන්නට පුළුවන් බව සත්‍යයක්.

පීනස සහ ඇදුම වැනි ස්වසන ආබාධ සහිත අය හිරුඑළිය සහ පරිසර උෂ්ණත්වය අඩු විටක ස්නානය කිරීම ඔවුන්ට සෙම් සහිත ලක්ෂණ, කැස්ස, ඇස් කැසීම, මුහුණ කැසීම  සොටු දියර ගැලීම, හිසරදය, කිවිසුම් යාම වැනි ආසාත්මික ලක්ෂණ මතුකරන්නට හේතුවක්. මේ ලක්ෂණ තීව්‍ර ලෙස මතුවීම සෙම්ප්‍රතිශ්‍යා වැනි ලක්ෂණ මතුකරන්නේ ආසාත්මිකතා වෙනුවෙන් සිරුරෙන් මතුකරන ලද රෝග ලක්ෂණ යම් යම් බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයන්ට  නිරාවරණය වුවහොත් සෙම්ප්‍රතිශ්‍යා සහ උණ වැනි තත්ත්වයන් මතුකරන නිසයි.

මෙවැනි  අත්දැකීම් ලබා ඇති අය එය වළක්වා ගන්නට නම් උදෑසන නවයෙන් පසු  දොළහට ප්‍රථම ස්නානය කරන්නට වග බලා ගන්න. හවසට ස්නානය කිරීම වරදක් නොවුණත්, රෑට ස්නානය කරන්නට එපා යැයි ඔබ අසා ඇති මතයේ සත්‍යය මෙයයි. 

උදෑසන මෙන්ම හිරු අවරට ගිය පසු උණුසුම මඳ වීම මෙන්ම හිසකෙස්වල තෙත පහසුවෙන් සිඳී නොයාම වැනි තත්ත්වයන්ද ඇතැම්විට අසාත්මික ලක්ෂණ පළකරන්නට ඉඩ ඇති නිසයි. හිස කෙස්වල තෙත නොසිඳී එය පවතින්නට හැරීම පීනස් ලක්ෂණ මතු කරන බැවින් සහ හිස කෙස් මූලය තෙත්ව බොහෝ වේලාවක් පැවතීම නිසා හිස කෙස් හැළී යාම සහ හිසකෙස් පැසීම වැනි ලක්ෂණ සමහරෙකුට මතුවන්නට පුළුවන්. 

සුව නොවන පීනස් ලක්ෂණ ඇතැම් විට ඇදුම රෝග ලක්ෂණ වෙත මාරු විය හැකි නිසා හැමවිටම හිරුඑළියේ රස්නය පවතින විටක ස්නානය තුළින් ඔබට වෙනත් අසනීප මතුවීම නවතා ගන්නට පුළුවන්. නමුත් කිසිවිටක ඉර මුදුන් වී රස්නය ඉතාම දැඩිව පවතින අවස්ථාවල ස්නානය කිරීමෙන් වළකින්න. හිසරදය, යම් ආකාරයක නාසයේ බර ගතිය පපුවේ රිදුම්, ඇඟපත වේදනා ආදිය ඇති විට ස්නානය කරන්නට එපා.

එම ලක්ෂණ ඔබේ සිරුරට කිසියම් අසනීප ගතියක් මතුවෙමින් තිබෙන බව ඇඟවීමක් නිසා නම් එය වඩාත් තීව්‍ර වීම නෑම නිසා සිදුවන්නට පුළුවන්. කිසිවිටක ඔබ ආහාර ලබා ගත් විගසම නාන්නට එපා. එය ඔබට ගෙන එන්නේ අහිතකර ප්‍රතිඵල පමණයි. එමෙන්ම දිය නාන්නට නොසුදුසු අවස්ථා ලෙස හඳුන්වා දිය හැකි මේ තත්ත්වයන්ද කිසිවිටක අමතක කරන්න එපා.

ඒ ශාරීරික ව්‍යායාම අවසන් වූ විගස මෙන්ම ඔබ එළිමහනේ කිසියම් වෙහෙසකර කාර්යයක නිරත වූ විට එය අවසන් වූ වහාම, දහඩිය වැගිරෙම්න් ඔබ කිසියම් ගමනක් ගොස් පැමිණි වහාම, දහඩිය අවසන් වී සිරුර නිවෙනතුරු ස්නානය කරන්න එපා. ස්නානය කෙසේ කළත් ඔබ එකවර හිසට ජලය වත්කර නොගත යුතු බවද අමතක නොකළ යුතුම කරුණක්. පළමුව ඔබ ඔබේ දෙපා සහ උරහිස් ආදියට වතුර වත්කර ගන්න.

දෙවනුව ඔබ ඒ ජලයෙන් ඔබේ මුහුණට යම් ප්‍රමාණයක් එක් කර ගන්න. දෑතින් වතුර ස්වල්පයක් ගෙන හිස කෙස් මතුපිට දමා තරමක් පිරිමදින්න. අවසන හිසට වතුර වත්කරගෙන ස්නානය කරන්න. මන්ද හිසේ මුදුනට එක්වරම සීතල වතුර යෙදීම තුළින් සිදුවිය හැකි අනර්ථයන් බොහෝය.

මොළයේ සෛල සහ ස්නායු එකවිටම උත්තේජනය වී ක්‍රියාකාරී වීමට සැලැස්වීම ශාරීරික වශයෙන් යම් ආබාධමය තත්ත්වයන් මතුකරන්නට සීතල ජලයෙන් ඇතිවන දැනීම නිසා ඇතිවන තිගැස්මට පුළුවන්.  ඔබ කොතරම් වේලාවක් හිස මතට ජලය වත්කරනවාද යන්න සිතෙන් නිර්ණය කරන්න.

ජලය අඩු හෝ වැඩි නොවන බවට වග බලාගෙන ප්‍රමාණවත් පරිදි හිස මතට ජලය එක්කර ගන්න. එසේ සැලකිල්ලෙන් ස්නානය කරන්නට ඔබට පුළුවන් නම් ස්නානය නිසා මතුවන්නට ඉඩ ඇති සමහර ක්ෂණික රෝග තත්ත්වයන් ඉතාම පහසුවෙන් වළක්වා ගන්නට පුළුවන.

 

0 comments

Leave a Reply

Post Comment