මා පිය සෙනෙහස අහිමි වු දරුවන් මෙන්ම කුඩා කල සිටම දෙමව්පියන් තම දරුවන් ප්‍රතික්ෂේප කිරීම ඉතා ඛේදණීය තත්ත්වයක් වන අතර එය සෑම රටකම පාහේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි. නමුත් ප්‍රශ්ණය ඇත්තේ දෙමාපියන් අහිමි වූ දරුවන් මෙන්ම ප්‍රතික්ෂේප වූ දරුවන්ගේ අනාගතය සම්බන්ධව ඇතිවන ගැටළුය. එහි මූලිකම ගැටළුව වන්නේ දෙමාපිය සෙනෙහස සහ ඒ සෙනෙහස හා බැඳුණු ආරක්ෂාවයි. මේ සම්බන්ධව මෙන්ම මෙම දරුවන් සම්බන්ධව සමාජයේ අවධානය කොතෙකුත් දුරට ලැබෙන්ද යන්න ඔබෙන් ඇසුවොත් ඔබට කුමක් කිව හැකි වන්නේද?

එලෙස දෙමාපියන් අහිමිව අසරණ වන දරුවන්ගේ අනාගතය සමාජය ඉදිරියේ තවත් අසරණ වන්නට නොදී ඔවුන්ට මවකගේ සෙනෙහස ආරක්ෂාව සහ රැකවරණය සැලසෙන ආයතන තිබෙන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි. එලෙස රැකවරණය ලබා දෙන SOS ළමා ගම්මානය  ලංකාවේ ප්‍රධානතම ආයතනයක් වන අතර එහි ආරම්භය මීට වසර 42කට පමන පෙර එනම් 1981 දක්වා දිව එන්නක් වෙයි.  

එමෙන්ම SOS සංවිධානය ගෝලීය ව්‍යයෙන් ව්‍යාප්ත වූ සංවිධානයක වන අතර මෙහි නිර්මාතෘ ඔස්ට්‍රියානු ජාතික හර්මන් මයිනර් නම් මහාචාර්යවරයෙක් වන අතර ඔහු මෙම දෙමාපිය අහිමි දරුවන් වෙනුවෙන් රැකවරණය ලබා දීමට SOS නම් ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයක් 1949දි ආරම්භ කරනු ලබයි.  ඒ ආරම්භයත් සමග මේ වනවිට රටවල් 138ක් දක්වා SOS ළමා ගම්මාන සංකල්පට ව්‍යාප්තව පවතිනු ලබයි. ඒ අනුව පළමු SOS ළමා ගම්මානය පිලියන්දල ප්‍රදේශයේදී ආරම්භ වන අතර මේ වනවිට එය දිවයින පුරා විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් මා පිය රැකවරණය අහිමි දරුවන් වෙනුවෙන් රැකවරණයක් සලසා දෙමින් ඔවුන් ශක්තිමත් කරනු ලබනවා. ඉතිං මෙම ළමා ගම්මානයේ කටයුතු සිදුවන්නේ කුමන අයුරින්ද මෙන්ම අනාගතය අඳුරු වී මිලින වන්නට තිබු දරුවන්ගේ අනාගතය නිර්මාණය කර ඔවුන් සමාජයට වැඩදායි පුරවැසියන් බවට පත් කරන්නේ කෙසේද යන්න එම ගම්මානයේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පසුගියදා පැවති වැඩසටහනකදි මෙලෙස අදහස් දැක්වීය.

ආරම්භය සහ ඉතිහාසය

අවුරුදු 42කට පෙර එවකට තිබුණු රජයෙන් ඉල්ලීමක් කලා ලංකාවේ SOS ළමා ගම්මානයක් පිහිටන්න කියලා ඒ අනුව තමයි අක්කර 15කින් සමන්විත ඉඩමක් අපිට ලබා දුන්නේ ළමා ගම්මානයක් පිහිටුවන්න. මුලින් ගෙවල් 4ක් තමයි මෙහි තිබුනේ ඉන් පසුව එය ගෙවල් 16ක් දක්වා වර්ධනය වුනා. තව මෙහි රජයට අනුබද්ධ පාසලක් තියනවා එහි ළමයින් 1000ක් අධ්‍යාපනය හදාරනවා තව වෛද්‍ය මධ්‍යස්ථානයක් තියනවා තව යොවුන් දරුවන් ජීවත් වන තැනක් තියනවා.

දැනට එස්. ඕ.එස් ළමා ගම්මාන 6ක ළමයි 975කට වැඩි ප්‍රමානයක් ජීවත් වෙනවා ඒ එක්කම අපි SOS ළමා ගම්මානයේ ඉන්නේ නැතිව පවුල ශක්තිමත් කිරීමේ වැඩසටහන් කියලා ළමයි මෙතනට එන එක වලක්වන්න අපි වැඩ කරනවා. ඒ වගේ ලංකාව වටේම ලමයි 4500ක් එක්ක අපි වැඩ කරනවා. අපිට සෑහෙන්න ඉල්ලීම් එනවා ඇඩ්මිෂන් වලට නමුත් අපි ගන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා එක අම්මා කෙනෙකුට ළමයි 5 දෙනෙක් 8 දෙනෙක් තමයි බලන්න පුලුවන් උපරිමයෙන්ම. ඊට වඩා වැඩි කලොත් ඒක අමාරුයි අම්මා කෙනෙකුට දරාගන්න. එතකොට ඒකේ ගුණාත්මක බව අඩුවෙනවා ඒ නිසා පවුල ශක්තිමත් කිරීමේ වැඩසටහන් අපි සිදුකරමින් යනවා අම්මලා දාලා යන්න එපා කියලා

ළමා ගම්මානයේ ව්‍යාප්තිය

අපි මේක ආරම්භ කලේ පිලියන්දලින්. පසුව නුවරඑළිය, ගාල්ල, අනුරාධපුර, මොණරාගල ආදි ස්ථාවනල ළමා ගම්මාන පිහිටවලා තියනවා. ඒ වගේම රජයෙන් ඉල්ලීමක් ආවා යුද්ධයෙන් පස්සේ යාපනයේ ගම්මානයක් පිහිටුවන්න කියලා. ඒ අනුව චෙට්ටිකුලම් ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක අපිට ළමයි 350ක් සම්බන්ධ වුනා පසුව එයින් 180කට වැඩි ප්‍රමාණයක් අපි නැවත පදිංචි කලා.  ඉන් පසුව දෙමාපියන් අහිමි ළමුන් එක්ක අපි යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ SOS ළමා ගම්මානය පිහිටෙව්වා. මීට අමතරව අපි මුලතිව්, පැරෑලිය, ගන්දර, බණ්ඩාවෙල වගේ ප්‍රදේවල පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යනවා.

ළමා ගම්මානයේ විශේෂත්වය

මේ ගම්මානේ විශේෂත්වය තමයි පවුලේ අය අම්මලා තාත්තලා අහිමි වුනාම ජීවත් වෙන්න තියන එකම තැන. මේක ජීවිත කාලෙටම රැකවරණයක් දෙන්න පුලුවන් තැනක්, අම්මා කෙනෙක්ගේ රැකවරණය යටතේ ජිවිත කාලයටම රැකවරණයක් ලබා දෙන තැනක්. ජීවිතකාලයටම කියුවට අවුරුදු 18ක් වෙනකන් තමයි SOS ළමා ගම්මානයේ ඉන්න පුලුවන්. නමුත් අපි කවුරුත් දන්නවා සමාජයේ අවුරුදු 18න් හැම දෙයක්ම කරගන්න බෑ. මොකද අවුරුදු 19න් තමයි උසස් පෙල කරන්නේ ඒ හින්දා අපි තවදුරටත් ඒ ළමයිට උදව් කරනවා. එතනින් එහාට ගිහින් ඒ අය විශ්ව විද්‍යාලයට යනවානම් ඒකටත් අපි උදව් කරනවා. අපි පොඩි වෙනස්කම් කරලා තියනවා ලොකු ළමයින්ට ඉන්න වෙනත් තැන් හදලා තියනවා.

ගැහැණු ලමයින් සඳහා විශේෂ ඒකක තියෙනවා ඒ ළමයි සමාජයට යනකන්ම ජීවත් වෙන්න. ඒ වගේම තමයි පිරිමි ලමයි, අපි ඒ අයට සහයෝගයක් දෙනවා රැකියාවක් දක්වා යනකන්. ඒ විතරක් නෙමෙයි ඒ අය රැකියාවට ගියාට පස්සෙත් ඒ අයට  අපිත් එක්ක දීර්ඝවම සම්බන්ධ වෙලා ඉන්න පුලුවන්.

විශාම නිවස

මේ දීර්ඝ ඉතිහාසය ඇතුලේ සිදුවන මේ කාරණා එක්කම තව දෙයක් තමයි මව්වරුන්ගේ විශ්‍රාම නිවස. මේ ළමා ගම්මානය ඇතුලේ වැඩ කරපු අම්මාලා දැන් ආච්චි අම්මලා වෙලා තියනවා මේ වෙනකොට ආච්චි අම්මලා 16ක් ඉන්නවා.  ඒ වගේම තමයි සෑහෙන ප්‍රමාණයක් එයාලට මුණුපුරු මිණිපිරියන් ඉන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් මම සතුටු වෙනවා මම ගම්මාන අධ්‍යක්ෂකවරයා විදිහට මගේ නමින් මම දැනට ළමයි 45ක් කසාද බන්දලා දිලා සමාජයට යොමු කරලා තියනවා.

විශේෂ වැඩසටහන් රැසක්

අපි මේ ළමයින්ව මගදි අතහරින්න කැමති නෑ. අපි පුලුවන් තරම් බලන්නේ සමාජයේ ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා යොවුන් සම්බන්ධව අපේ විශේෂ අවධානයක් යොමුවෙලා තියනවා ඒ නිසා අපි යොවුන් වැඩසටහන් කීපයක්ම කරනවා.

එක් අවස්ථාවක් තමයි සමාජයේ ඉන්කොට සමාජයේම ගැටළු ඇතිවෙනවා විශේෂයෙන්ම කොවිඩ්, කොවිඩ් වලින් පසු සහ ආර්ථික තත්වය නිසා රැකියාවන් නැතිවුනා. ඒ නිසා අපි අපේ මව් සංගමය හරහා මුදල් කිහිපයක් යොදවලා පටන් ගත්තා මොනාහරි හැකියාවක් තියන්න සහ ඒ හරහා ගෙදර ඉඳලා හරි වැඩ කරන්න. ඒ හරහා අපි ළමයි 300කට අපි අධ්‍යාපනය ලබා දීලා තියනවා ඒ හරහා ළමයි 270ක් සාර්ථකව ඉදිරියට ගිහින් ඉන්නවා.

ඒ වගේම අපි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා විශේෂයෙන්ම දරුවන් සඳහා. ඒක SOS ළමා ගම්මානයේ ඉන්න ළමුන්ට විතරක් නෙමෙයි පිට ඉන්න දරුවන්ට පවා එහි වෘත්තිය පුහුණුව හදාරන්න පුලුවන්. ඒ වගේම සමාජයේ කවර හෝ තැනක දුප්පත් දරුවෙක් ඉන්නවානම් අපි ඒ දරුවන්ටත් NVQ 3,4 දක්වා වෘත්තිය පුහුණුව ලබා දෙනවා. ඒ අනුව SOS ළමා ගම්මානයට අයත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 4ක් තියනවා අනුරාධපුර, මොනරාගල, මල්පොත සහ යාපනය, යන ප්‍රදේශවල.

මේ හැම දෙයක්ම අපි SOS ළමා ගම්මානය හරහා සිදුකරමින් යනවිට අපි බලාපොරොත්තු වෙනවා ළමයින්ට තවදුරටත් අසාධාරණයක් වෙන්නේ නැතිව සමාජයේ හොඳ පුරවැසියෝ වශයෙන් සමාජගත කරන්න.

දරුවන්ට පැන නගින ගැටළු සහ දුශ්කරතා

සමහර ළමයිට උප්පැන්න සහතිකයක් නෑ. ඒ අනුව අපි ගන්නවා අනුමාන වයස් සහතිකයක් ඒ වයස් සහතිකයේ තියන්නේ අවුරුද්ද විතරයි. ඒකෙදි අපි ගන්නේ ජනවාරි පලවෙනිදා හෝ ජූලි පලවෙනිදා. අවාසනාවකට තියන දේ තමයි අනුමාන වයස් සහතිකය ගැන රජයේ නිලධාරීන් ගොඩාක් තැන්වල ගොඩාක් අය දන්නේ නෑ මේක නැතිවම බැරි වෙලා තියනවා. තව දෙයක් තමයි අම්මා තාත්තාගේ කසාදය. මේක විශේෂයෙන්ම බලපාන්නේ ගැහැණු ලමයින්ට තාත්තාගෙ නමට උප්පැන්න සහතිකයේ ඉරක් තිබුනොත් ඒ ළමයා කොයි විදිහටද සමාජයේ ඉන්නේ කියලා හිතලා බලන්න. සමහර අවස්ථා වලදි ඇතැම් දරුවො රස්සාවට ගිහිල්ලා ඉන්ටර්විව් එක ඉවර වෙලා අඬාගෙන ඇවිත් තියනවා. ළමයින්ගේ කිසිම වරදක් නෑ. ඒක දෙමව්පියන්ගේ වරද නමුත් දරුවාගේ උප්පැන්න සහතිකයේ තියන්නේ ඉරක්. ඉතිං මේක වෙනස් කරන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ අර 1960 ගනන් වල තියන උප්පැන්න සහතිකය පිලිගන්න කියන එක. මොකද ඒකේ නෑ තාත්තා අම්මාගේ නම. ඉතිං අපි හිතනවා ඉදිරි කාලයේදි මෙක ක්‍රියාත්මක වෙයි කියලා. මොකද මේ දරුවො කිසිම වරදක් කරලා නෑ වැඩිහිටියෝ කරපු වරදට තමයි මේ දරුවෝ දුක් විඳින්නේ. මේකට අපි දැනටත් වැඩ කරගෙන යනවා අපි බලාපොරාත්තු වෙනවා මේක පාර්ලිමේන්තුව දක්වා ගෙනියන්න.

මානුෂීය ආධාර වැඩසටහන

ගිය අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ලංකාවේ ලොකුම අමාරුකම් තිබුණ මාසය. ඒ මාසය  වෙනකොට මම දැක්කා බඩු ගන්න ගියත් බඩු ගන්න ලේසි නෑ බඩු හිඟයක් තිබුනා, තෙල් හිඟයක් තිබුනා ඒ වගේම මිනිස්සු සෑහෙන්න අමාරුවේ වැටුනා. ඒ නිසාම අපි අපේ මව් සංගමයට ඉල්ලීමක් කලා අවුරුද්දකට හෝ එකහමාරකට මානුෂික ආධාර දෙන්න කියලා සමාජයේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒ ඉල්ලීම මාසයක් ඇතුලත එකඟවුනා අපිට දෙන්න.

ඒ අනුව අපි මුලින්ම ඉල්ලීමක් කලේ ළමයි 10,000කට පොත් පත්, බෑග් එකක්, සපත්තු දෙකක් අරන් දෙන්න ඊට අමතරව පවුල් 2800කට රුපියල් 5000 බැගින් මාස 6කට එක දිගට බඩු මල්ලක් ලබා දෙන්න අපි සැලසුම් කලා. ඒ අනුව මොනවාද අපි මේ බඩු මල්ල ඇතුලේ දෙන්නේ කියන එක සැලසුම් කලා.  විශේෂයෙන්ම මන්දපෝෂනය ඇති දරුවන් වෙනුවෙන්. ඒ අනුව නුවරඑලිය, අනුරාධපුර වගේ පැතිවල ඒ දෙමව්පියන් හොයාගෙන මහජන පරීක්ෂකවරුන්ගෙත් සහය ඇතුව කරගෙන ගියා. නොවැම්බර් මාසය වෙනකොට මේ ඉල්ලීම දෙගුණයක් දක්වා ඉහල ගියා. ඒ අනුව අපි ජාත්‍යන්තරව ඉන්න නියෝජිත මහත්මයාට අපි ඉල්ලීමක් කලා ලංකාවට එන්න කියලා එහිදි අපි යෝජනාවක් කලා. මගේම කණ්ඩායමෙන් මම ඉල්ලීමක් කලා එක්කෙනෙකුට පුලුවන්ද අවුරුද්දකට වැඩ දෙකක් කරන්න කියලා. එතකොට අපි අලුතින් කට්ටිය ගන්න  ඕනේ නෑ. ඒ සල්ලි ඉතුරු කරගත්තොත් මම පෙන්නුවා 10,350කට පොත් පත් දෙන එක අපිට 20,000කට දෙන්න පුලුවන් බව ඒ වගේම බඩු මල්ල 5000 ගානේ 2800කට දෙන එක පවුල් 5000කට දෙන්න පුලුවන් බඩු මල්ලේ ගාන 7500 කරගෙන.

ඒ අනුව මගේ කණ්ඩායම එකඟ වුනා. අපි වැඩි මුදලක් ඉල්ලුවේ නෑ ඒ මුදලින්ම අපි ඒ වැඩසටහන කරගෙන යනවා.  ඒ අනුව මේ වනවිට අපි ළමයි 17,000කට පොත් පත් ලබා දීලා තියනවා. අපි එක අවස්ථාවකදි ලංකාව වටේම ඉන්න හිර ගෙවල්වල අවුරුදු 3කට මොනවා හරි හේතුවකට හිරේ ගිය අම්මා හෝ තාත්තා ඉන්නවානම් ඒ ළමයින්ට පොත් පත් අවශ්‍ය නම් පොත් පත් ලබා දෙන වැඩසටහනක් කලා. ඒ අනුව ළමයි 1578කට එය ලබා දුන්නා. ඒ වගේම මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් බොහෝ ප්‍රමාණයකට අපි උදව් කලා. හැබැයි නිකන්ම නෙමේ අපි ඉන් පස්සෙත් ඔවුන් ගැන සොයා බැලුවා ඒ අය එතනින් ගොඩ ඇවිත්ද කියලා ඒ අනුව මෙතැනින් උඩට ආපු ප්‍රමාණය සෑහෙන්න වැඩියි. ඒ දත්ත පවා අපි ගාව තියනවා අපි තවදුරටත් මේ වැඩසටහන කරගෙන යනවා.

වර්ථමාන ගැටළු

ඊලඟ අවුරුද්දේ අප්‍රේල් මාසය වෙනකන් විතරයි අපි ගාව සල්ලි තියන්නේ. මම ඉල්ලීමක් කරලා තියනවා නමුත් මම දන්නේ නෑ මේ අවස්ථාව වෙනකොට ලෝකේ තියන අවශ්‍යතාවය මේක විතරක් නෙමෙයි. ලොකු යුද්ධයක් තියනවා අපි ජාත්‍යන්තර ආයතනයක්, රටවල් 138කට වැඩ කරන ආයතනයක්. මේ වෙලාවේ ඒ අයගේ ප්‍රධාන යොමුවීම යුද්ධයක් තියන රටකට. ඒක සාධාරණයි මොකද SOS ළමා ගම්මානයක් තියනවා ගාසා වලත් පලස්තීනයෙත් සහ ඊශ්‍රාලයෙත් මේ යුද්ධය නිසා ළමා ගම්මානවල ළමයි 13 දෙනෙක් විතර මිය ගිහින් තියනවා. ඒකට තමයි මේ වෙලාවේ මුලිකත්වය ලැබෙන්නේ.

නමුත් මම ඉල්ලීමක් කරලා තියනවා අඩුම වශයෙන් ඊලඟ අවුරුද්ද ඉවර වෙනකන් හරි අපිට මුදල් ලබා දෙන්න කියලා මොකද අපේ රටෙත් මේක එක පාර හරියන වැඩක් නෙමෙයි. මම විශේෂයෙන්ම කැමතියි ළමයින්ට පොත්, සපත්තු සහ බෑග් එකක් ලබා දෙන්න. මොකද එතකොට ළමයි ඉස්කොලේ යනවා. මොකද ළමයි 20,000කට ආධාර දීලා ඉවර වෙනකොට තවදුරටත් 20,000ට උදව් කරන්න හැකියාව ලැබෙනවා ඒක තමයි අපේ අදහස.

ඒ වගේම මම අපේ අයගෙන් ඉල්ලීමක් කරලා තියනවා පවුල් ශක්තිමක් කිරීමේ වැඩසටහන 10%කින් ඉහල නංවන්න කියලා. දැනට 4500ක් ඉන්නවානම් මුලු ලංකාවෙන්ම තව 500ක් වැඩි කරමු කියලා ඒ වගේම ළමයි SOS වගේ තැනකට එන එක පවා අඩු කරන්න. ඒක තමා අපේ අරමුණ ඒ වගේම 2025-2026 සැලසුමක් සකස් කරලා තියනවා අපේ කණ්ඩායම එකතු වෙලා තවත් අලුතින් පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් එකක් මඩකලපුවේ තව එකක් මීගමුවට එහා පටන් ගන්න. මේ සඳහා අපිට දැනට මුදල් නෑ නමුත් මුදල් ලැබුනොත් මම ඒකත් පටන් ගන්නවා ඒ සඳහා මම ධනාත්මකව බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මොකද දැන් එහි අවශ්‍යතාවය වැඩි වෙලා තියන නිසා.

මානුෂීය ආධාර සඳහා මහජන සම්බන්ධතාව

අපි බලාපොරොත්තු වෙනවා මහජනතාවගෙන් මේ කටයුතු සාර්ථක කරගනිමින් පවුල් ශක්තිමත් කිරීමට සහ අපේ මානුෂිය ආධාර වෙනුවෙන් සහයක් ලබා දෙන්න කියලා.

ලංකාවේ පුරවැසියන්ට SOS ළමා ගම්මානයට උදව් කරනවානම් ඔවුන්ට බදු ආදායමින් නිදහක් ලැබෙනවා. ඒ අනුව පෞද්ගලිකව මේ සඳහා උදව් කරනවානම් රුපියල් 75000ක බදු ආදායමින් නිදහස් වෙනවා. සමාගමක් නම් අවුරුද්දක් ඇතුලත ලක්ෂ පහක බදු ආදායමින් නිදහස් වෙනවා.

ළමුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්  මෙම වැඩසටහන හා එක්වීමට ඔබටත් හැකියාවක් ඇති අතර ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු 0117 72 7777 හෝ 076 138 8818 යන දුරකතන අංක මගින් අරමුදල් සංවර්ධන හා සන්නිවේදන ප්‍රධානී ගයන්ත දල්පදාදු මහතා ඇමතීමෙන් ලබා ගැනීමට හැකියි.

- තිසර ගංගාදර

0 comments

Leave a Reply

Post Comment